Saturday

නිදහස් අධ්‍යාපනයේ උපත

නිදහස් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ මුල ඉඳන් ම ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. 1940 දශකයේ ආරම්භයේ ඉඳන් විවිධ සමාජ ව්‍යාපාර, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සියලු සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතු යැයි දැවැන්ත උත්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දේශපාලකයන්ට එය පිළිගන්න සිදු වුණා.

"දියුණුවට පත් ඕනෑම රටක එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි" - ජේ. ආර්. ජයවර්ධන,රාජ්‍ය මන්ත්‍රණ සභාව(හැන්සාඩ්  1945/495 තීරුව).

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහි‍ටුවන්න අනුපමේය මෙහෙයක් ඉ‍ටුකලා. ඒ බොහෝ දෙනෙකුගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් මධ්‍යයේයි. දින 15කදී පැවැත්විය යුතු විවාදය මාස 15කටත් වැඩි කාලයක් පැවැත්වුණේ ඒ නිසයි. 1944 ජූනි 02 දා නිදහස් අධ්‍යාපන පනත විවාදයට ලක් කරමින් කන්නන්ගර මහතා මෙසේ පැවසුවා.

"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ  අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත  ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? " (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

ඒ කෙසේ වුණත් සුවහසක් බාධක හමුවේ එම ආත්ම වර්ණනාව කරන්නට කන්නන්ගර ඇමතිතුමා ඇතුළු බලවේගය වාසනාවන්ත වුණා. ඔවුන් ජයගත්තා. 1947 මැයි 27 කෙ‍ටුම්පත සම්මත වුණා.

මෙහිදී අපි තේරුම් ගන්න ඕන නිදහස් අධ්‍යාපනය අප වෙත ඉතා පහසුවෙන් ලඟා වුණු අහසින් කඩා වැ‍ටුණු දෙයක් නොවන බවත්, විශාල පිරිසකගේ අති විශාල කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් විදිහට අපිට මෙය ලැබුණු බවත්ය. "සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම" ලෝකයේ අනාගත සිහිනයකි. මේ සිහිනය අපි බොහෝ කලින් දිනාගැනීමට තරම් වාසනාවත්යෝ වුණෙමු. ඔබ අප සියලු දෙනාම අද මෙතරම් දුරට ජීවිතය ජයගන්නට හැකි වුනේ නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්නටයි...

No comments:

Post a Comment