Thursday

'මාලබේ SAITM පිළිගන්නේ නෑ' - වෛද්‍ය සභාව ඉහළට දන්වයි.

වෛද්‍ය උපාධිය සඳහා රුපියල් ලක්ෂ එකසිය විස්සක් පමණ අය කරන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි ය පිළිනොගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට මෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ද ලිතව දැනුම් දී ඇත.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ලේඛකාධිකාරි වෛද්‍ය ටෙරන්ස්‌ ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත. සියලුම අංශ සඳහා සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම මෙන්ම අවශ්‍ය පහසුකම් නොතිබීම යන කරුණු මත එම උපාධිය පිළිනොගැනීමේ තීරණය ගෙන තිබේ.

මහාචාර්ය රිස්‌වි ෆෙරිෆ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් දසදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මගින් මෙම වෛද්‍ය විද්‍යාලය නිරීක්‍ෂණය කළ අතර ඉහත කරුණු අනාවරණය වී ඇත්තේ එම නිරීක්‍ෂණයේදීය. මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය රජිල් ප්‍රනාන්දු, මහාචාර්ය රංජනී ගමගේ, මහාචාර්ය වසන්ත ගුණතුංග, මහාචාර්ය කේ. සිවපාලන්, වෛද්‍ය එල්. බී. එල්. ද අල්විස්‌, වෛද්‍ය බී. ඡේ. සී. පෙරේරා, වෛද්‍ය එච්. එම්. එස්‌. එස්‌. ඩී. හේරත් හා වෛද්‍ය හේමන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු නිරීක්‍ෂණ කණ්‌ඩායමට ඇතුළත් වූහ.

2009 වසරේ ආරම්භ කළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව නවසියයකට ආසන්නය.


උපුටා ගත්තේ www.infosrilankanews.com වෙබ් අඩවියෙනි...

Saturday

සත්‍යවාදී ලෙස පොලොවේ පය ගසා කොන්දක් ඇතුව ජීවත් විය යුතුය.

මෙම වාර්තාවේ අදහස් දැක්වීමේ තීරුව කියවූ අපි වටහා ගත්තේ ලංකාවේ බොහොමයක් අයට වෙන්න යන දේ පිළිබඳව කිසිම අදහසක් නොමැති බවයි. ඒ නිසා ඔවුන්ගේ ඇති යම් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දී අපි ද අදහස් දැක්වූයෙමු. දැනට දින කිහිපයක් ගත වූවද අපගේ ප්‍රකාශ අදහස් දැක්වීම් තීරුවට එකතු වූයේ නැත. නමුත් අපගෙන් පසු අදහස් දැක් වූ ඇතැම් අනාවබෝධිත ප්‍රකාශ නම් එම තීරුවට එක් වී ඇත. එවිටයි අපට වැටහුණේ මොවුන්ගේ මාධ්‍ය භාවිතය. ජනතාව නොමග යවනා මෙවන් මාධ්‍යකරුවන් විසීම ඔබගේත් අපගේත් පමණක් නොව මුළු රටේම අභාග්‍යයකි. ජනතාවට ඇත්ත ඇති සැටියෙන් නොදන්වා, ජනතාවගේ ඇත්ත අදහස් දැක්වීම් පසෙකලා ඔවුන් හිතුමතේ මෙවන් දේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? අපි මේ ජීවත් වන වසර කිහිපයට ඇයි මේ අසත්‍ය, තුච්ඡ ක්‍රියාවන්. සත්‍යවාදී ලෙස පොලොවේ පය ගසා කොන්දක් ඇතුව ජීවත් විය යුතුය. අවසාන වශයෙන් අපට හැ‍ඟෙන්නේ තමන්ගේම මව දූෂණය කරනවලුන්ට කත් අදින මෙවැනි මාධ්‍ය කරුවන් ගැන අනුකම්පාවකි. http://www.lankadeepa.lk/index.php/articles/338275/

Sunday

අනාගතයට 6%ක්, මහපොළ 5000ක්...

අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම යනු වසර ගණනාවක් ඇදීගිය අරගලයකි. මේ වෙනුවෙන් ලංකාවේ ප්‍රථම වරට විශ්ව විද්‍යාල ආචාර්යවරු ද දැවැන්ත අරගලයක නිරත විය. ඔවුන් ගාල්ලේ සිට කොළඹ දක්වා එද්දී සරසවි සිසුන් නුවර සිට කොළඹට ආවේ තම ආදරණීය සිසු විරු සගයන් දෙදෙනෙකු එවක පැවති මිලිටරි පාලනය විසින් උදුරගන්නා ලද දැඩි මර්දනකාරී වටපිටාවකය.

එමෙන්ම, වසර දහයකින් පමණ ඉහල නොදමන ලද මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස බලකරමින් කරන ලද අරගල වලට මෙතෙක් ප්‍රතිචාර ලැබුනේ මර්දනයේ හස්තයෙන් පමණි. 2014 ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණි අ.වී.ශි.බ.ම. පාගමනට පාලකයන්ගේ මිලේච්ච ප්‍රහාර වලට ලක්වීමට සිදුවිය.

මේ සියලු අරගල හා කැපකිරීම් නිසාවෙන් අද අධ්‍යාපනයට 6%ක් ලැබී ඇත. මහපොළ 5000ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු වී ඇත. මෙය ඉදිරි මහමැතිවරණය උදෙසා දුන් තවත් පොරොන්දුවක් නොවී එය සැබෑවටම ලංකේය ශිෂ්‍ය ප්‍රජාවට හිමිවනතුරු අපි අවදියෙන් සිටිමු.

Friday

ක්ෂණිකා හිරිඹුරේගම ඉල්ලා අස්වෙයි...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ඇතුළු එම කොමිසමේ සාමාජිකයින් 7දෙනා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, සාමාජිකයින් වන අභයගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු මෙසේ ඉල්ලා අස්වී ඇති සෙසු සාමාජිකයෝ වෙති. මෙහි සාමාජිකාවක්ව සිටි මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය මෙයට සතිදෙකකට පමණ පෙර හදිසි අනතුරකින් මියගියාය.

ඔවුන් පසුගිය 9වනදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇති අතර මේ වනතුරු එහි පුරප්පාඩු පිරවීම සඳහා නව සාමාජිකයන් මේවනතුරු පත් කර නැත.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව විජේසිංහ මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර හිරිඹුරේගම මහතාගේ භාර්යාවය. ඇයගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් එම නිසා එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසත් වත්මන් රජය පත්වීමෙන් පසු ඇයගෙන් ඉල්ලා තිබූ නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යවල පසුගිය කාලයේ වාර්තා විය

Thursday

මාලඹේ හොර වෙද විදුහලේ හා කොතලාවල වෛද්‍ය පීඨයේ විච්ඡේදන ශාලාවලට සිරුරු කොහෙන්ද ?

සියළු රටවල මනුෂ්‍ය අවයව හා ශරීර කොටස් විවිධ පර්යේෂණ හා ප්‍රතිකාර සඳහා භාවිතයේ දී දැඩි නීතිරීතිවලට යටත්ව ඒම කටයුතු සිදුකරයි. එවැනි දැඩි නීතිමය සීමා පැනවීමේ අවශ්‍යතාවය වන්නේ මනුෂ්‍ය අවයව ජාවාරම් වැලැක්වීමත් ඒවා ලබාගැනීම උදෙසා කෘෘර ලෙස මිනිසුන් ඝාතනය කිරීම වැලැක්වීමටත් ය.

ලංකාවේ ද එසේ මානව අවයව හා ශරීර කොටස් පරිහරණයේදී පිළිපැදියයුතු නීති පද්ධතියක් 1987දී හඳුන්වාදී නීතිගතකර ඇත. එය Transplantation Of Human Tissues Act (No. 48 of 1987) ලෙස හැඳින්වේ.




එම පනතට ( http://www.commonlii.org/lk/legis/num_act/tohta48o1987422/ ). අනුව කිසියම් කරුණක් උදෙසා මියගිය හෝ ජීවත්වන පුද්ගලයකුගේ ශරීරය හෝ කොටසක් හෝ භාවිතා කරන්නේ නම් ඊට අදාළ පූර්ව කැමැත්ත එම පුද්ගලයා විසින් ලබාදීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ විශේෂ කවුන්සියලක් මඟින් එක් එක් කරුණ සඳහා වෙන වෙනම විශේ්ෂ විශ්ලේෂණයක් කොට අනුමැතිය ලබාදිය යුතුය.
 
වෙනත් ආකාරයකින් කියනවානම් මස් කඩයකට ගොස් කුකුලකුගේ අසවල් ශරීර කොටසින් කිලෝ එකක් දෙන්න කියා මිලදී ගන්නවාක් මෙන් කිලෝ ගණනට හෝ පැකට් ගණනට මනුෂ්‍ය අවයව කොටස් බෙදාහැරිය නොහැකිය. වෛද්‍ය විද්‍යලවල පවත්වන උපාධි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය කොටසක් වන්නේ මනුෂ්‍ය ශරීරය විච්ඡේදනය කොට ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලැබීමයි. 

ඒ සඳහා ලංකාවේ සියළු රාජ්‍ය වෛද්‍යවිද්‍යලවල ක්‍රියාත්මක වූ පටිපාටිය නම් තම සිරුර වෛද්‍ය විද්‍යාලයට දන් දීමට කැමති පුද්ගලයන්ගේ සිරුරු ඉහත පනතේ ඇති නීතිමය ක්‍රමවේදයට අනුව ගෞරවාන්විතව භාරගෙන විශේෂිත කල්තබාගැනීමේ ද්‍රාවණයක ගිල්වා සංරක්ණය කොට වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුව සඳහා භාවිතා කිරීමයි. 

එසේ භාවිතා කරන මළසිරුරු සමඟ ඡායාරූප ගැනීම හෝ එම මළසිරුරේ දායකයාට කිසියම් හෝ අගෞරවයක් වන ආකාරයෙන් ක්‍රියා කිරීම වෛද්‍ය ශිෂ්‍යයකුට වුවද සපුරා තහනම් ය. 

මෙහිදී පැන නැගෙන ගැටළුව නම්, මෙසේ මානව ශරීර කොටස් තබාගැනීමට ඉහත පනත අනුව නීතිමය හිමිකමක් නැති මාලඹේ වෛද්‍ය විද්‍යාලය යයි කියාගන්නා ආයතනයට (SAITM) මානව මළසිරුරු ලබාගත්තේ සහ ලබාගන්නේ කෙසේද යන්නයි.

එහි වෛද්‍ය විද්‍යාව හදාරන වෛද්‍ය සිසුන් යැයි කියාගන්නා පිරිසක් මළ සිරුරු හා ශරීර කොටස් සමඟ පෙනී සිටින ඡායාරූප එම ආයතනයේ නිල වෙබ් අඩවියේ පැහැදිළිව ප්‍රසිද්ධ කර ඇත. ( http://www.saitm.edu.lk/fac_of_medicine/fac_of_medicine.htm ). මෙම ආයතනය මේ දක්වා වෛද්‍ය විද්‍යාලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෛද්‍ය සභාව විසින් පිළිගෙන නැත.

කොතලාවලආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය ගැන කිවයුත්තේද මීට සමාන කතාවකි. (http://www.kdu.ac.lk/faculty-of-medicine/ ) එහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ 2009 වසරේදීය නමුත් පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස විශේෂ පාර්ලිමේත්තු පනතක් මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත්තේ 2014 වසරේදීය.
 
ඒ අනුව SAITM හොර වෛද්‍ය විද්‍යාලයට අද දින දක්වාත් කොතලාවල වෛද්‍ය පීඨයට 2014 වසර දක්වාත් වෛද්‍ය සිසුන් පුහුණුව සඳහා මනුෂ්‍ය ශරීර කොටස් පරිහරණයට නීතිමය අවසරයක් නැත.


එසේ නම් මේ ආයතන දෙකෙහි අධ්‍යයන කටයුතු සඳහා මිනිස් සිරුරු සපයාගත්තේ කෙසේද යන්න විධිමත්ව සොයාබැලිය යුතුය. මෙම ආයතන දෙකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ සෘජු දේශපාලන රැකවරණ මත ක්‍රියාත්මකවූ ආයතනවේ.

පසුගිය සමයේ මානව හිමිකම් ක්‍රියාධරයින්,මාධ්‍යවේදීන් ඇතුළු මිනිසුන් රාශියක් අතුරුදහන් කරනු ලැබ ඇත. රටේ විවිධ ප්‍රදේශවල යාචකයන් ඔළුවලට ගල්ගෙඩිවලින් ගසා ඝාතනය කරනු ලැබිණි. අතුරුදහන් කරනු ලැබිණි.

මොවුන් පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි කරනවා නම් අප ඉහත දක්වා ඇති ආයතනවල ඇති මිනිස් සිරුරු හා කොටස් ගැනද වහාම විධිමත් විමර්ෂණයක් කර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ඒවා බැලීමට අවස්ථාවක් ලබාදිය යුතුය. හඳුනාගැනීමට අවස්ථාව සැලසියයුතුය. රටේ නීතියට පරිබාහිරව අමු මිනීමස් ජාවාරමක් කළ ඉහත ආයතන තුළ ලලිත්, කූගන්, ප්‍රගීත් එක්නැලිගොඩ ආදීන් සිටීදැයි වගකිව යුත්තන් විසින් සෙවිය යුතුම ය.

ඊ ගොසිප් වෙබ් අඩවියේ 05.02.2015 දින පළ වූ ලිපියකි.

Tuesday

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල වූ ගෝඨාභයගේ උපාධි කඩය හෙළි වේ

Gotabayaශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පිහිටුවීමට රුපියල් කෝටි 2,613ක වෙන් කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම මැදිහත් වී ඇති බව අනාවරණය වන අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු 13වන දිනයි.
මෙහි විශේෂත්වය වන්නේ එම වෛද්‍ය පීඨය සඳහා කැඩෙට් නිලධාරීන් වශයෙන් වර්ෂයකට 8දනෙකු වැනි සීමිත පිරිසක් බඳවාගන්නා අතර 100කට අධික පිරිසක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබන සිසුන් ලෙස බඳවාගැනීමයි.

2014 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙන් කර තිබූ මුලු මුදල වන්නේ රුපියල් කෝටි 2338ක් වන අතර මෙසේ තිබියදී වෛද්‍ය, ඉංජිනේරු, නීති, සමසෞඛ්‍යය, කලමනාකරණ ආදී උපාධි විකිනීම සඳහා රජයට අයත් ‍ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යොදාගනිමින් සිටී. එහි වෛද්‍ය පීඨය වෙනුවෙන් පමණක් මුළු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට‍ම වෙන්කර ඇති මුදල්වලට වඩා වැඩි මුදලක් වෙන් කර ඇත.

Readsrilanka වෙබ් අඩවියේ 09.02.2015 දින පල වූ ලිපියකි

Saturday

කොළඹ වෛද්‍ය පීඨ නේවාසිකාගාර කාමරයක හදිසියේ ගින්නක්


2015 ජනවාරි 24 වැනි සෙනසුරාදා පස්වරුවේ කොළඹ වෛද්‍ය පීඨ පිරිමි සිසු නේවාසිකාගාරයේ එක් ගොඩනැගිල්ලක සිව්වන මහලේ කාමරයක හදිසියේ ගින්නක් ඇති වුණි.
මෙහි සිටි හතරවන වසරේ සිසුවා දිවි බේරාගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ බාහිරයෙන් අනෙක් පස කාමරයට ඉතා භයානක අන්දමින් පැනීමෙනි.

දැනට සැක කරන්නේ මෙම ගින්න විදුලි කාන්දුවකින් ඇති වූවක් ලෙසටය. නේවාසිකාගාරයේ විදුලි ‍රැහැන් අනාරක්ෂිතව එලා ඇති අයුරු දැකීමෙන් ම මෙය පසක් වේ.

නේවාසිකාගාර සිසුන් වසර ගණනාවක් මුළුල්ලේ විශ්ව විද්‍යාල පරිපාලනයෙනුත් අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් ඉල්ලා සිටියේ එම බලධාරීන් පහස ලබන වායු සමීකරණය කළ කාමර නොව, සැනසිල්ලේ අධ්‍යාපන කටයුතු කිරීමට සුදුසු පසුබිමක් ඇති වට පිටාවකි. එම ඉල්ලීම් බීරි අලීන්ට වීනා වාදනයක්ම විය.

රජයෙන් අය කරන ගාස්තු වලට අමතරව 'නේවාසිකාගාර සංවර්ධන අරමුදල' නමින් මුදලක්ද අසාධාරණ ලෙස අය කළ බලධාරීන් එම මුදලින් සැබවින්ම නේවාසිකාගාරය සංවර්ධනය කළානම් මෙසේ සිදුවීමක් කිසි සේත්ම නොවීමට ඉඩ තිබුණි.

නේවාසිකාගාර පිළිබඳව ඉංජිනේරුවරයෙකු ද සිටින බව අප දැනගත්තේ මෙදින වන අතර මෙවන් නේවාසිකාගාරයක් පවතින බව ඉංජිනේරවරයා දැන ගන්නට ඇත්තේද මෙදිනම වන්නට ඇති බව අපට පසක් විය.
මුදල් අය කිරීමට පමණක් මෙහි පැමිණෙන ඇතැම් පිරිස් මෙදිනද පැමිණ කිඹුල් කඳුලු හෙලා නැවත ගිය ද මීට පෙර ප්‍රශ්ණ ආකාරයටම මෙයද විසඳුමක් නොමැතිවම අමතක නොකරතැයි අපි විශ්වාස කරමු. කඩිනම් විසඳුමක් ලබා නොදුන හොත් කිසිදා ගිනි නොගන්නා 'වෙද සිසු හඬෙන් ' ඔවුන්ගේ තනතුරු ගිනි ගන්නා දිනය වැඩි ඈතක නොවන බව ඔවුන් දැන ගත යුතුය.