Saturday

හොර වෙද කඩයේ තවත් දහංගැටයක්

කළමණාකරණ පීඨයක් ලෙස අවසර ගෙන ස්ථාපිත කොට පසුව හොර වෛද්‍ය පීඨයක් ලෙස නම වෙනස් කර ඇති මාළඹේ හොර වෙද උපාධි කඩය ආරම්භයේ සිටම රටේ නීතිය හෑල්ලුවට ලක් කර ඇත. එනම් ඉංග්‍රීසියෙන් කළමණාකරණ(Management) යන්න පසුව වෛද්‍ය(Medicine) යන්නට වෙනස් කොට ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ කමි‍ටුවේ( Board of investment) SAITM (South Asian Institute of Technology and Management) ලෙස ලියාපදිංචි වූ මෙම හොර උපාධි ආයතනය පසුව South Asian Institute of Technology and Medicine ලෙස වෙනස් කොට ඇත. එනමුත් නම වෙනස් කළ පසු නැවත ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ කමි‍ටුවේ අවසරය ද ගෙන නොමැත.
බස් වෙළඳ දැන්වීමක්
එසේම ශික්ෂණ රෝහලක් නොවුණද නෙවිල් ෆනෑන්ඩූ පෞද්ගලික රෝහල 'මාළඹේ ශික්ෂණ රෝහල' ලෙස පුවත්පත් වල හා පෞද්ගලික බස් රථ වල වෙළඳ දැන්වීම් පළකිරීමද කරගෙන යයි.ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියද නොමැතිවයි.

කටයුතු මෙසේ තිබියදී, පසුගියදා මාළඹේ හොර වෙද උපාධි කඩයේ දෙමාපිය සංගමයේ නියෝජිතයන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේව මුණ ගැසුණි. මෙහිදී තීරක කාර්යයභාරයක් සිදුකරන ලද්දේ එම දෙමාපිය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසිනි.
මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ එදිනම සවස පුවත්පත් සාකච්ඡාවක් කැඳවා 'මාළඹේ සිසුන්ට රජය් අවිසින් සියළු පහසුකම් ලබාදී වෛද්‍යවරුන් බවට පත් කළ යුතු බව' පවසන ලදී. බස්ගැමුණු මහතා මෙම කපටි ක්‍රියාව සිදු කළේ, එනම් ස්වාමීන් වහන්සේව මුණ ගැසුනේ 'සාධාරණ සමාජයක් සංවිධානය' හරහා උන්වහන්සේ ඇතිකරගෙන ඇති සමාජ ආකර්ෂණය පාවිච්චි කර, ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති මාලඹේ හොර වෙද උපාධි කඩය ‍රැක ගැනීමේ ප‍ටු අරමුණෙනි.
බස්ගැමුණු මහතා ඇතුළු එම සංගමයේ කපටි වැඩපිළිවෙල කෙතරම්ද කියතොත් පසුගිය නොවැම්බර් 14 වැනිදා, එනම් පසුගිය සිකුරාදා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ හදිසියේ රෝගී වූ පසුද ඇතුළත් කර ඇත්තේ මාළඹේ නෙවිල් ෆනෑන්ඩූ පෞද්ගලික රෝහල වෙතටය.රෝහල පෞද්ගලික වුවද උන් වහන්සේගෙන් සතපහක්වත් අයකරගෙන නොමැති අතර, මෙම ක්‍රියාව වක්‍රාකාරයෙන් පගාව දී හෝ 'හොර උපාධි කඩය' ආරක්ෂා කරගැනීමට දරන උත්සාහයක් බවසක්සුදක් සේ පැහැදිලි වේ.
එසේම කලකට පසු 'බලෙන්' හෝ රෝගියෙක් ඇතුළත් කර ගැනීමෙන් හෝ මෙම රෝහලට රෝගියෙකු පැමිණීමෙන් එහි සිටින සිසුන්ද ප්‍රීතියෙන් පිනා ගොස් ඇත.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් ගණනාවක් තිබියදී මෙසේ පහසුකම් පමණක් ඇති, සුදුසුකම් නොමැති රෝහලකට පුද්ගලයෙක් අසරණ වූ විටදී නොමග යවා ඇතුළත් කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තම නොසතුට පළ කරයි. එම රෝහලට ඇතුළත් වූ කවීෂ පුතුට අත් වූ ඉරණමද ඔබට මතක ඇති.
රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලෙස අවසන් වශයෙන් අප ඉල්ලා සිටින්නේ රටේ දැනට ඇති අකටයුතු මැරකම් පෙර‍ටුකොටගත් රාජපක්ෂ පවුල් පාලන සංස්ථාව නිම කිරීමට පෙරමුණ ගෙන සිටින මාදුළුවාවේ සෝභිත හිමියනි , ඔබවහන්සේ සක්විති ව්‍යාපාරිකයින්ගේ දහංගැට වලට හසු නොවී දුරදිග බලා තීරණ ගන්නා ලෙසය. හොඳ මූණ ඉදිරියට දාගෙන සිල්වත් ලෙස වැඳගෙන සිටියාට මොවුන් ලෝකෙත් කා වතුර බී ඇති පිරිසකි. රාජපක්ෂත් එක්ක ගනුදෙනු කිරීමට එසේ ලේසියකට බැරිය. ඒ මහින්ද රාජපක්ෂ්ගේ බුද්ධිමත් බවක් නිසා නොව, කපටි කම නිසාය. බුද්ධිමත් නම් සාක්ෂි ඉතුරු නොවෙන්නට මිනී මරයි. නමුත් මහින්දට එසේ බැරිය. කපටිකමනම් ඇත.තමන්ගේ කුණු අනුන්ගේ බක්කි වලට දැමීමට හපන් වී ඇත්තේ එබැවිනි.බස්ගැමුණු වැන්නන් මෙවැනි මිනිසුන් සමග එකට සවාරි යන්නන්ය. එවැනි මිනිසුන් වක්‍රාකාරයෙන් හෝ උදව් කරන්නේ නිකමටනම් නොවේය.

අපි ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !!!

Friday

කොතලාවල මිලිටරි වෛද්‍ය පීඨය (රාජපක්ෂ වෙද විදුහල)


ලංකාවේ වසර තිහක යුද්ධයේ අමිහිරි මතක සටහන් අප කාගේත් සිත් තුළ තාමත් ‍රැව් පිළි‍රැව් දෙයි. මහින්ද රාජපක්ෂ මාකට් කර කර විකුණන්නේද මෙම මතකයන්ය. අප සොල්දාදුවන් තම දිවි කැපකොට දිනාගත් නිදහස මුවාවෙන් ඇතැමුන් කිඹුල් කඳුළු පෙරට දා තම බඩ වඩා ගැනීමටත් සමාජ පන්තිය ‍රැක ගැනීමටත් උත්සහ කරන අන්දම ඉතාම නින්දාසහගතය. එවැනි එක් උත්සාහයකි රාජපක්ෂ සහෝදර රෙජීමයේ කොතලාවල මිලිටරි වෙද විදුහල.

වසර 30ක යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශවල රාජකාරී කලේ රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයක් පමණි. ඒ හමුදා සෙබළුන් හා රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අපගේ වෛද්‍යවරුනුත් පමණි. වසර 2009දී ඉතා දැවැන්ත උත්සාහයකින් අනතුරුව යුද්ධය ජයග්‍රහණය කිරීමට අපට හැකිවිය. එතෙක් මෙම වෛද්‍ය නිලධාරීන් නිසි පහසුකම් හා සහයද නොමැතිව හමුදා සෙබළුන් සුවපත් කිරීමේ කටයුතු තම රාජකාරියක් පමණක් ලෙස නොසිතා යුතුකම පෙර‍ටු කොට ගෙන ඉ‍ටු කලහ.
එසේ මහන්සි වී යුද්ධය අවසන් කළ පසු,  යුද්ධය පවතිද්දීවත් රටට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වූ 'මිලිටරි වෛද්‍යවරුන්' බිහි කිරීමේ මහඟු කර්තව්‍යයට ගෝඨාභය රාජපක්ෂ අතගැසුවේය.ඒ එතෙක් කලක් යුධ හමුදා නිලධාරීන් පුහුණු කළ කොතලාවල ආරක්ෂක පුහුණු පාසල තුළ මිලිටරි වෙද විදුහලක් 2009 දී ආරම්භ කරමිනි.

මෙය සත්ක්‍රියාවක් ලෙස ලෝකයාට පෙන්වීමට ගෝඨාභය ගන්නේ මහඟු උත්සාහයකි. ආරම්භයේදී කිසියම් වූ විනිවිධ භාවයකින් යුක්තව සිසුන් බඳවා ගත්තද පසු කාලීනව සිල් රෙද්ද ඉවත් විය ,සැඟවී තිබූ යටි අරුත එළිදරව් විය. මිලිටරි වෙද විදුහලට ඇතුළත් කරගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් ලැයිස්තුව කියවීමෙන්ම පමණක් මෙය අවබෝධ කරගත හැක.

ආරම්භයේදී z අගය හා කායික යෝග්‍යතාවය යන කරුණු සළකා සිසුන් බඳවා ගන්නා ලදී. නමුත් පසු කාලීනව z අගය නොසලකා මැති ඇමති වරුන්ගේ හා හමුදා උසස් නිලධාරීන්ගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මතද, උසස් ආර්ථික හා සමාජ මට්ටමට තැන දෙමින්ද සිසුන් බඳවාගන්නා ලදී. දැනට තත්ත්වය තවතවත් නරක අතට හැරෙමින් පවතී.ඒ විදේශ සිසුන් (මාලදිවයින, නේපාලය, භූතානය) සඳහා මිලිටරි වෙද විදුහලේ දොර‍ටු, මුදලට විවෘත කිරීමත් සමගිනි. 

මෙය ශ්‍රී ලංකාවේ පවතින ගුණාත්මක බවින් ඉහළ වෛද්‍ය අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍යයටත්, නිදහස් සෞඛ්‍යය ක්ෂේත්‍රයටත් මහත් තර්ජනයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මෙහි අළුත්ම මෙහෙයුම වී ඇත්තේ තමන්ට වෘත්තියේදී නොලැබෙන ජ්‍යේෂ්ඨත්වය හොර පාරෙන් ලබා ගැනීමයි.

සිද්ධිය සරළව මෙසේය. මිලිටරි වෙද විදුහලේ පලමු කණ්ඩායම වන්නේ 2008 උසස් පෙළ කණ්ඩායමයි. රජයේ වෛද්‍ය පීඨවල 2008 උසස් පෙළ සිසුන් අවසන් වසර විභාගයට තවම සැරසෙද්දී මොවුන් එය අවසන් කර 2007 උසස් පෙළ රජයේ වෛද්‍ය සිසුන් සමඟ නේවාසික පුහුණුවට එක් වීමට සැරසෙයි. ඒ ගෝඨාභයගේ හයිකාරකමිනි, චණ්ඩිකමිනි. එදා සිට අද දක්වා රාජපක්ෂ තම පාලනය ගෙන ගියේද මෙලෙස හයිකාරකම් පෙන්වීමෙනි.
මෙහි වැදගත් තවත් කරුණක් වන්නේ z අගය අනුව බඳවා නොගත්තද සිටින සියළුම සිසුන්ට අදහාගැනීමටත් අපහසු විභාග ප්‍රතිඵල තිබීමයි. මෙයත් මහින්දගේ තවත් ආශ්චර්යයකි.

වෛද්‍ය වෘත්තිය ‍රැඳී පැවතී ඇත්තේත් ‍රැකෙන්නේත් වෘත්තීය ජ්‍යේෂ්ඨත්වය මතයි. අනාගතයේදී හොර පාරෙන් එන මෙවැනි මිලිටරි වෙද්දුන් ආශ්චර්යමත් ලෙස ජ්‍යේෂ්ඨත්වට පැමිණීමෙන් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේම කොඳු නාරටිය බිඳවැටෙනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. 

මාලඹේ හොර වෙද උපාධි කඩය වැසීමට ඔන්න මෙන්න තිබියදී, එය පිරිමැසීමට උත්සහ කරන කොතලාවල මිලිටරි වෙද විදුහල, ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ආ රාජ්‍යය දූෂණයේ කළු අවතාරයකි.
මෙය පරාද කරන සටනද දැන් ආරම්භ වී ඇත. එදා මෙන්ම අදත් හෙටත් සරසවි සිසු සටන් ජයග්‍රණයෙන් තොරව නැවතී නැත. කෙතරම් පාරම්බෑවද කොතලාවල මිලිටරි ඇකඩමියට නුදුරු අනාගතයේදී සිදු වන්නේද  රාජ්‍ය වෛද්‍ය සිසුන් ඉල්ලන ගුණාත්මක බව උදෙසා z අගය මත පමණක් සිසුන් බඳවාගැනීමටය. මුදලට බලයට වෙද උපාධි විකිණූ යුගය අවසන්ය. මේ බුද්ධිමත් මිනිසුන්ගේ යුගයයි...

මාලඹේ වෙද උපාධි කඩයේ ඉල්ලීම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවතට

පසුගිය සැප්තැම්බර් මාසයේ මාලඹේ හොර වෙද උපාධි කඩයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඒ ඔවුන් සතු පහසුකම් පෙන්වීමටත් හා අනුමැතිය ලබා ගැනීමට විවිධ කරුණු පෙන්වීමටත්ය.මෙම වාර්ථාව සළකා වෛද්‍ය සභාවෙන් පළපුරුදු මහාචාර්යවරුන් කිහිපදෙනෙකුගේ අදහස් විමසා සිටියා. මේ සඳහා ‍තෝරාගනු ලැබුවේ මහාචාර්ය නිලන්ති ද සිල්වා (රාගම වෛද්‍ය පීඨාධිපතිනිය), මහාචාර්ය කොල්වින් ගුණරත්න හා මහාචාර්ය රිස්වි ශෙරිෆ් (කොළඹ වෛද්‍යපීඨයේ හිටපු මහාචාර්ය වරුන්) යන අයයි. මොවුන්ගේ පිළිතුරු වාර්ථා වල සඳහන් සංක්ෂිප්තය වන්නේ මාලඹේට හොඳට මුදල් ලැබෙන බවත්, විද්‍යාගාර පහසුකම්, දේශණ ශාලා වැනි භෞතික පහසුකම් හොඳට ඇති බවත් , එනමුත් තිබිය යුතුම පහසුකම වන සායනික පුහුණුව ලැබීමට අවශ්‍යවන රෝහල් වටපිටාව නොමැති බවත් ය.

මුදල් වලට ඇති කෑදරකමට අවිධිමත් ලෙස සිසුන් මෙයට බඳව ගත්තද, ඔවුනටවත් ප්‍රමාණවත් තරමට අවශ්‍ය පහසුකම් ලබාදීමට වෙද උපාධි කඩය අපොහොසත් වී ඇත.

උදාහරණයක් ගතහොත් රජයේ වෛද්‍ය පීඨයක එක් සිසුවකුට දිනකට රෝගීන් අටක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පැවරුණද මාලඹේ සිසුන් පස්දෙනෙකුට ම යොමුවන්නේ එක් රෝගියෙක් පමණි. මෙයට හේතුව ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක එවැනි පෞද්ගලික රෝහලක අධික මුදලක් ගෙවා (සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂයකට වඩා) නේවාසික ප්‍රථිකාර ගැනීමට හැකිවන්නේ ඉතාම සීමිත පිරිසකට බැවිනි. ඇතැම් දිනවල මුළු වාට්‍ටුවටම සිටිනුයේ නේවාසික රෝගීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණි. 
කායික රෝග සහ ශල්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තත්ත්වය මෙසේ වෙද්දී වෛද්‍ය පුහුණුවට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුත් උප විශේෂාංග වන වකුගඩු රෝග, ළය රෝග, අන්ත්‍ර රෝග  සම්බන්ධ ඒකක මෙහි සායනික මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේවත් නැත.
අධිකරණ වෛද්‍ය විද්‍යාව, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, බෝවන රෝග පාලන විද්‍යාව වැනි අංග වලට අදාළ අධ්‍යාපනයක් හා පුහුණුවක් මෙහි සිසුන්ට ලැබෙන්නේද නැත.හේතුව වන්නේ මෙම අංග  පෞද්ගලීකරණය කිරීමට කිසිසේත්ම නොහැකි වීමයි. උදාහරණයක් ගතහොත් අධිකරණ වෛද්‍ය විද්‍යාව පෞද්ගලීකරණය වුවහොත් මිනීමැරුමක මරණ පරීක්ෂණ වාර්තා වුවද මුදල් මත තීරණයවනු ඇත.එනම් මිනීමැරුමක් සාමාන්‍යමරණයක් ලෙස වුවද මුදල් මත තීරණය වන යුගයක් උදාවනු ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මහාචාර්යවරුන් තිදෙනා ගත් නිගමනය වන්නේ මාළඹේ ගැන සොයා බැලීමට වෛද්‍යසභාවෙන් පියවර ගත යුතු බවයි.

මෙම සොයාබැලීමට කමි‍ටුවක් පත් කරගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා වෛද්‍ය සභාවේ ‍රැස්වීමක් පැවැත්වුණා. මෙහිදී වෛද්‍ය සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට සාමකාමී නිහඬ විරෝධතාවයක් දැක්වූවා.එලෙසම සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති ‍රැසක් එකතුව වෛද්‍ය සභාවට ලිපියක් යොමු කරමින් පැවසූයේද මාලඹේ උපාධි කඩය සුදුසුකම් සපුරා නැති බව ඇස් පනාපිට පෙනෙද්දී එලෙස කමි‍ටුවක් පත් කර ගැනීමට අනවශ්‍ය බව දන්වමින්.

මෙම ‍රැස්වීම අතරතුරදී එයට සහභාගී වූ ලංකාවේ සියළුම වෛද්‍ය පීඨ වල පීඨාධිපතිවරුන්ගෙන්ද( යාපනය, නැගෙනහිර වෛද්‍යපීඨ ඇතුළුව) මෙම කමි‍ටුව පත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
එම නිසා අවසානයේ වෛද්‍ය සභාවෙන් කමි‍ටුවක් පත් නොකිරීමටත්, ප්‍රමාණවත් සායනික පහසුකම් සපුරාගතහොත් පමණක්  තීරණය පිළිබඳ නැවත සලකා බැලීමටත් තීරණය කළා.

මේ අතර හාස්‍යයට කරුණක් වන්නේ මහජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාව තහවුරු කරමින් 1924 සිට ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගුණාත්මක බව පිළිබඳව මාළඹේ දෙමාපිය සංසදය විසින් ප්‍රශ්ණ කර වෛද්‍ය සභාවටම ලිපියක් එවා තිබීමයි.
ලෝකයේම පිළිගත් වෛද්‍ය උපාධි ලබාදෙන ලංකාවේ වෛද්‍ය සභාව සමන්විත වන්නේ  දැනට ලංකාවේ සිටින උසස්ම ආචාර්ය, මහාචාර්ය වරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙනි. වසර සියයකට ආසන්න කාලයක් ගුණාත්මක සෞඛ්‍යය සේවයක් හා ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදුන් මෙම ආයතනයේ සුදුසුකම් සෙවීමට ඉදිරිපත්වීමෙන් ම ඔවුන්ගේ අඥාණබව හා ප‍ටු අරමුණු ප්‍රදර්ශණය වේ.

මෙහිදී බස් ගැමුණු ඉතා මහන්සියෙන් වැඩ කළ බව ආරංචිය. තමන් අඥාණ බව සැබෑය. නමුත් එය ප්‍රදර්ශණය නොකර සිටීමට තරම් වත් තේරුමක් නොමැත.
අවසානයේ අපට පැවසීමට ඇත්තේ කෙතරම් පාරම්බෑවද මාලඹේ හොර වෙද උපාධි කඩය ලංකාව තුළ  පිළිගන්නේ නැති බවය. එය එදාටත් අදටත් හෙටටත් එසේමය.මෙය ජනසතු වී ගුණාත්මක තත්ත්වයට උසස් කරන දිනය වැඩි ඈතක නොවේ. එය බස් ගැමුණු වැනි අඥාණයන්ට නොපෙනීම පුදුමයට කරුණක්ද නොවේ. කෙසේ වුවද වතුර රත් වන තුරු කකුළුවා දිය කෙළිනු ඇත.

Tuesday

වෛද්‍ය පාඨමාලාවේ හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතියට රජයෙන් එල්ල වන අයුතු බලපෑම්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන්, වෛද්‍ය පුහුණුවේත් වෛද්‍ය වරුන්ගේ විනය ආරක්ෂා කිරීමේත්  වගකීම දරන නිලලත් ආයතනයයි.නමුත් පසුගිය දශක කිහිපය තුල මුදලට, බලයට වෛද්‍ය වෘත්තියට ඇතුලත් වීමට උත්සහ ගත් විවිධ පාර්ශව වෙතින් වෛද්‍ය සභාවට විවිධාකාර තාඩන පීඩන එල්ල විය.
කාටූනය - අවන්ත ආටිගල
            සභාපතිවරයෙකුගේ නිවසට අත් බෝම්බ ගැසීම,ලේඛනාධිකාරී විශේෂඥ වෛද්‍යවරයාට සහ සාමාජික විශේෂඥ වෛද්‍යවරයෙකුට තාඩන පීඩන එල්ල කිරීම,වෛද්‍ය සභාව විසිරුවාහරින බවට ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම, සහ විවිධ අණපනත් හිතුමතයට වෙනස් කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙනයාමට මග පාදා ගැනීම ඒ අතර වේ.
            පුහුණුවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාළඹේ වෙද උපාධි කඩය තවමත් පිළිගැනීමකට ලක් කර නැත. යම් වෛද්‍ය විද්‍යාලයක් එය පිහිටි රටේ වෛද්‍ය සභාවෙන් පිලි නොගන්නා වෛද්‍ය උපාධියක් පිරිනමන්නේ නම්,ලෝකයේ කිසිදු රටක් විසින් එය නීතිමය ලෙසින් පිලි නොගනී.ඒ අනුව මෙම මාලඹේ පුද්ගලික ආයතනයේ සිසුන්ට සිදුවන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමටය.නැතහොත් එම සභාවේ අනුමැතිය නොමැතිව  වෛද්‍යවරයෙකු ලෙස මෙරට ‍රැකියාව කිරීමට නීතිරීති සකස් කරගැනීමය. දැනටමත් එසේ සිදු කරගනිමින් සිටී. යම් හෙයකින් වෛද්‍ය සභාව මෙවැනි ආයතනයකට අනුමැතිය ලබා දුනහොත්,එය විශ්වාසය අහිමි කරගත් සහ දේශපාලන බලපෑම්වලට යටත් වන වෛද්‍ය සභාවක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධ වීම වැලැක්විය නොහැක. තවද  එම සභාව මගින් නියාමනය වන මෙරට සියලු වෛද්‍ය පීඨ සහ වෛද්‍ය උපාධිධාරීන් අපහසුතාවයට පත් වීමත් වැලැක්විය නොහැක.
             මෙම ක්‍රියාවලියෙන් පෙන්නුම් කරන්නේ පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතන බිහිකිරීමට උත්සහ දරන අතලොස්සක් වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, දෙමව්පියන් සහ වෘත්තිකයින් කෙතරම් අත්තනෝමතික සහ වගකීම් විරහිත ලෙස කටයුතු සිදුකරන බවද යන්නයි.

වෛද්‍ය පුහුණුව පිළිබඳ ලෝක සම්මතය.

              උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ මේ සම්බන්ධ තත්වය බලමු. අප රටට බටහිර වෛද්‍ය ක්‍රමයත්, වෛද්‍ය සහ පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයත් සඳහා ආභාශය ලබුනේ මහා බ්‍රිතාන්‍යයෙනි. එමෙන්ම 1977න් පසු අප රටේ සියලු ආණ්ඩුවල ආර්ථික ක්‍රමය වූ ලිබරල් වෙළෙඳපල ආර්ථිකයේ නියමුවා ලෙසද එරට හඳුනාගත හැක.වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වී වසර සිය ගණනක් වූවද, අදටත් බ්‍රිතාන්‍යයේ කිසිඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොමැත. එහෙත් බ්‍රිතාන්‍ය ගුරුන්ගෙන් ඉගෙනගත් අප රටේ දේශපාලන ශිෂ්‍යයින් සිදුකලේ කුමක්ද? විවෘත වෙළෙඳපල ආර්ථිකය හඳුන්වා දී වසර පහක් ගතවන්නටත් පෙර,වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම විවෘත වෙළෙඳපලට භාරදීමට එවක ආණ්ඩුව කටයුතු කළේය. ඒ ආරම්භය අද දක්වා වරින් වර විවිධ උපක්‍රම අනුගමනය කරමින් දිගින් දිගට කරගෙන යාමට සියලු ආණ්ඩු උත්සහ කලේය.
              මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව ( General Medical Council -GMC ) සතු කාර්යභාරය සහ බලතල අති විශාල වන අතර එය වග කියන්නේ මහජනතාවට සහ ඔවුන්ගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තුවට පමණි. එම වෛද්‍ය සභාව ආණ්ඩුවෙන් සහ වෘත්තිකයන්ගෙන් ස්වාධීනව පවත්වාගෙන යයි. එම සභාවෙ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය.
              ''We are not here to protect the medical profession-their interests are protected by others.Our job is to protect patients.We are independent from government and the profession and accountable for parliament. ''
              ''අප සිටින්නේ වෛද්‍ය වෘත්තිකයන් ආරක්ෂා කිරීමට නොවේ.ඔවුන්ගේ ඕනෑකම් සඳහා වෙනත් පාර්ශව සිටී.අපේ රාජකාරිය වන්නේ රෝගීන් ආරක්ෂා කිරීමයි. අප ආණ්ඩුවෙන්ද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ද ස්වාධීන වන අතර, අප වගකියන්නේ පාර්ලිමේන්තුවටය. ''
                අප රටේ වෛද්‍ය සභාවට බලපෑම් කරන්නේ කෙසේ ද සහ එහි නියාමනය මගහැර යන්නේ කෙසේදැයි ඉහත සඳහන් කලෙමු. මහජන ආරක්ෂාව වෙනුවෙන් පිහි‍ටුවා ඇති ආයතනයක් වන වෛද්‍ය සභාවකට ඒ ආකාරයට අයුතු බලපෑම්කරන සහ එහි නියාමනය දේශපාලන බලයෙන් මගහැර යන  රජයක් සිටිනා එකම රට ලංකාවයි.
               විවෘත වෙළෙඳපොලට මුදාහරින්නේ මොනවාද, එය නියාමනය කලයුත්තේ කෙසේද, පූර්ණ රාජ්‍ය ආධිපත්‍ය යටතේ තබාගත යුත්තේ කුමන අංශදැයි අද සිටින ලිබරල් ආර්ථිකයේ නියමුවන් මනාව වටහාගෙන නැති බව මෙයින් පැහැදිලි වේ.

               මේ ආකාරයට වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ආණ්ඩුවේ බලධාරීන් ජනතාවගේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදු කරන්නේ කුමක්ද?....
     
       1. අහිංසක ජීවිත සිය ගනනින් බිලි ගන්නා ඩෙංගු, වකුගඩු රෝග, බෝ නොවන රෝග නිවාරණයට නිසි ක්‍රමවේදයක් නැත.
       2. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත.
       3. රජයේ සෞඛ්‍ය සෙවාවට දළ දේශීය  නිෂ්පාදනයෙන් 5%ක් වෙන් කරන්නේ නැත. ලෝක සම්මතය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය එසේ වුවද, අප රටේ එය 1.3%ක් වේ.එය ලෝකයේ එම අගය අඩුම රටවල් 18 අතරට ශ්‍රී ලංකාවද අයත් වේ.
       4. පෞද්ගලික වෛද්‍ය සේවාව නියාමනය කෙරෙන්නේ නැත.
       5. 2006 වැ‍ටුප් සහ උසස්වීම් සෞඛ්‍ය වෘතිකයින්ට ලබා දෙන්නේ නැත.
       6. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත.
       7. රජයේ වෛද්‍ය සේවවේ වෘත්තිකයන්ගේ හිඟයට පිළියම් යොදන්නේ නැත.
       8. රටේ සමස්ථ සෞඛ්‍ය සෙවාව ජනතා අවශ්‍යතා අනුව මෙහෙයවීමට නිසි නායකත්වයක් දීමට අපොහොසත් වී ඇත.
       9. අණපනත් සහ විවිධ සහායන් ලබා දෙමින් පෞද්ගලික අංශය වර්ධනය කිරීමට පියවර ගන්නා අතර එහි වර්ධනය සාධනීය ලක්ෂණයක් ලෙස පුන පුනා පවසයි.
     10. වෘත්තීය ගැටලු හේතුවෙන් වසරක් පාසා සිය ගණනින් විදේශ ගතවන වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු මෙරට උපාධිධාරී වෛද්‍යවරුන්ගේ සාධාරණ ගැටලු සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් කර ඔවුන් රඳවා ගැනීමට උත්සහ දරන්නේ නැත.

                මුදල් සහ දේශපාලන බලය මත වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන පුද්ගලයින්, තම පවුලේ සාමාජිකයින්ට හෝ අදාල දේශපාලඥයින්ට හෝ ව්‍යාපාරිකයින්ට පමණක් ප්‍රතිකාර කරන්නේ නම් අපට ගැටලුවක් නැත.එහෙත් සිදුවන්නේ එයද ? මූල්‍ය ගැටලු නැති ඔවුන් සියලු දෙනා කුඩා රෝගයකට පවා විදෙස් ගතවන බැවින්, මෙම පෞද්ගලික උපාධිධාරීන්ගේ ප්‍රතිකාරවලට ලක්වන්නේ සාමාන්‍ය පොදු ජනතාවය, ඔවුන්ගේ දරු පරපුරය. දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමේ විද්‍යාත්මක ක්‍රමයක් පවතිද්දී, රටක් ලෙස අප එතරම් බංකොලොත් විය යුතුද ?
                අවසාන වශයෙන් අප පරපුරේත්, අනාගත ලාංකික දරු පරපුරේත් සෞඛ්‍ය ආරක්ෂාව පිණිස සහ මෙරට වෛද්‍ය  අධ්‍යාපනය හා වෛද්‍ය වෘත්තිය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීමට සඳහා ඉදිරිපත් කරන පහත සඳහන්  යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට අප සියලු දෙනා එක් වෙමු..

       1. මාළඹේ පෞද්ගලික උපාධි ආයතනය වසා දමා, එහි දේපල රජයට පවරාගැනීම. 
            අත්තනෝමතික ව්‍යාපාරයක් හේතුවෙන් අසාධාරණයට පත්ව සිටින එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට, අදාල ව්‍යාපාරිකයින් ලවා සාධාරණ වන්දියක් ලබා දීම.
  
       2. වෛද්‍ය වෘතිකයින් පුහුණු කිරීමට සහ සේවාවට එක් කිරීම සඳහා මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, සම්මත ක්‍රමවේදය  කිසිඳු ආකාරයකින් උල්ලංඝනය නොකිරීම.

       3. කොතලාවල වෛද්‍ය පීථය විධිමත් කර, Z අගය අනුව පමණක් බඳවා ගැනීම.
    
       4. කිසිඳු ආකාරයකින් රජයේ වෛද්‍ය පීඨවල ඇගයීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය අඩු නොකිරීම සහ විදෙස් රටවල වෛද්‍ය උපාධිධාරීන් සඳහා පවත්වන ACT 16  විභාගයේ ඇගයීම් මට්ටම මෙරට වෛද්‍ය පීඨවල අවසාන විභාගය දක්වා උසස් කිරීම.


       5. උපාධිධාරී වෛද්‍යවරුන් සඳහා දැණුම සහ කුසලතා ඉහළ නැංවීමේ මෙන්ම යාවත්කාලීන කිරීමේ නිසි ක්‍රම වේදයක් සැකසීම හා ඔවුන්ගේ සාධාරණ වෘත්තීය සැටලුවලට විසඳුම් ලබා දීම.
      
       6. පෞද්ගලික සේවාවේ නිරත සුදුසුකම් රහිත, එහෙත් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සියලු පුද්ගලයින් ඉවත් කිරීම.

       7.  ( අරමුණක් නැතිව, ඉබාගාතේ නඩත්තු වන රජයේ සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය සේවා වෙළෙඳපොලක් වෙනුවට ) ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ ජාතික සෞඛ්‍ය සේවාවක් පිහි‍ටුවීම සහ එහි පූර්ණ වගකීම රජය විසින් දැරීම.

       8. වෛද්‍ය උපාධි සහ පශ්චාත් උපාධි සුදුසුකම් තීරණය කිරීමත්, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අදාල නීතිමය සහ ප්‍රතිපත්තිමය පියවර ගැනීමත් 
           සඳහා වෛද්‍ය සභාවේ කාර්යභාරය පුලුල් කිරීම.වෛද්‍ය සභාව දේශපාලන බලපෑම්වලින් තොරව ජනතාවට වග කියන ආයතනයක් බවට පත්කිරීම.

-   සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය -

Saturday

මාළඹේ හොර වෙද උපාධි කඩයට එරෙහි පාගමන...

ජනතාවගෙන් සගවා කූට ලෙස මුදුන් පමුණුවා තැත් කෙරුණු මාලඹේ වෙද උපාධි කඩයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට කටයුතු කිරීමට එරෙහිව සක්‍රීය ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම,

නිදහස් අධ්‍යාපනය සුරැකීම උදෙසා මෑතක වූ ප්‍රබල මැදිහත් වීමක් බව අපි විශ්වාස කරමු. 

ඉහත කරුණෙහි ලා අප ශිෂ්‍ය ව්‍යාපාරය දැක්වූ සක්‍රීය දායකත්වය පිළිබද මෙසේ සටහන් තබමු. 


පසුගිය සැප්තැම්බර් මස 25 වන දින රජයේ සියලු වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි සිසුන් 1000 කට අධික පිරිසක් අගනුවරට රැස්කරවා ගැනීමට අපට හැකි විය. 


ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා නොදෙන ලෙස දන්වමින් පැවැත්වූ පා ගමන සඳහාය. මේ පාගමන කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ඇරඹී සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අවසන් වන්නේ අප ශිෂ්‍ය නියෝජිතයන් පස් දෙනෙකුට පමණක් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍යංශ නිලධාරීන් හමුවී යථෝක්ත කරුණ පිලිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සලස්වා ගනිමිනි. 


මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය හමුවන අප නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අනුමැතිය ලබා දුන් බව කියැවෙන අදාල ලිපිය ලේකම්තුමිය වෙත ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරන්නට සමත්වූහ. අප නියෝජිතයන්ගේ කරුණු හා සාක්ෂි හමුවේ ලේකම්තුමිය ද නිරුත්තර වූ බව කිව යුතුය.

එසේ සාකච්ඡාව අවසන් වුවත් මෙම පාගමන ශිෂ්‍ය අරගලය ලත් ජයග්‍රහණයක් බව අප සලකන්නේ කරුණු කිහිපයක් නිසාය.

මෙම පාගමනට පසු දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීම.

• රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා සාකච්ඡා තුල ඉහත මාතෘකාව සඳහා අවධානය යොමු වීම සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ GMOA සභාපතිතුමා සමග කරන ලද සාකච්ඡාව(පෞද්ගලික රූපවාහිනී නාලිකාවක).

• ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුන් විසින් පවත්වන ලද නිහඬ විරෝධතාවය සහ මාලඹේ සිසුන් විසින් ගොනුකර තිබූ මානව අයිතිවාසිකම් නඩුවේ පාර්ශව කරුවන් ලෙස ඉදිරිපත් වීමට රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව ලැබීම.

• ජනතාවගෙන් වසන් කොට යටපත් කරන්නට උත්සහ දරමින් තිබූ ඉහත කී කාලීන ගැටලුව වෙත ජනතා අවධානය යොමු කරවීමට හැකියාව ලැබීම.

අප ශිෂ්‍ය ව්‍යාපාරය මෙතෙක් තම ගමන තුල සාර්ථක වෙමින් සිටියි. ඉදිරි ගමන තුලද අපි සාර්ථක වන්නෙමු. මර්දනය හමුවේ වර්ධනය වන ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මේ වෙනුවෙන් දිගින් දිගටම වෙහෙස වන්නෙමු.

ආණ්ඩුව හැමදා උත්සහ කළේ ද, කරන්නේද, ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුන්කන් දීම නොව, එම ඉල්ලීම් නොසලකා හැරීම හා එම ව්‍යාපාර මර්ධනයට පියවර ගැනීමය. හේතුව උගත් බුද්ධිමත් සිසුන් වන සරසවි සිසුන්ගේ ඉල්ලීම් තේරුම් ගැනීමට තරම් අවබෝධ ශක්තියක් පාලකයන්ට නොතිබීමය.
ඔවුන්ට තේරෙන්නේ මෙම සාධාරණ ඉල්ලීම් දිනාගැනීම උදෙසා හංදියක් හංදියක් ගානේ දින ගණනක් රස්තියාදු වන සිසුන් ඉවත් කිරීමට පොලීසිය ඇවිස්සුණු විටදී ඇති කරගන්නා ගැටීම් ය. එම ගැටීම් මාධ්‍ය වලින් වෙළඳාම් කරන්නට පටන් ගත් විටය. ඒ මැරයන්ට, නූගතුන්ට තේරෙන භාෂාවයි. ඉහළ සිට පහළ දක්වා ලංකාවේ පාලනය ගෙන යන්නේ කවුරුද යන්න මෙයින් පැහැදිලිය.

නමුත් කණගා‍ටුවට කරුණ වන්නේ මාධ්‍ය මෙම පුවත් වාර්ථා කරන අන්දමය. සාමගාමී පාගමන දකින්නේ වාහන තදබදය ඇති කිරීමට අධිරාජ්‍ය බලවේග වලින් සිසුන් හරහා යොදන උපක්‍රමයක් විදිහටය. විපක්ෂ වලින් ආණ්ඩුවේ 'ආශ්චර්යය' කරා යන ගමනට යෙදූ බාධකයක් ලෙසටය. 
ස්වාධීන රූපවාහිනියේ 'මහින්ද අබේසුන්දර ' නමැත්තන් මෙම කතා ගෙතීමේ උපන් හපනුන්ය. ඔවුන්ගේ පැටිකිරිය අපි ඉදිරි ලිපි වලින් ඉදිරිපත් කරන්නෙමු. 

කෙසේ නමුත් අපේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුවට යම් තරමකට හෝ ඇහුන්කන් දීමට ආණ්ඩුවට සිදු විය. 
පේරාදෙණියේ කළමණාකරණ පීඨය ස්ථාපිත කිරීමට පියවර ගැනීම හා මහපොළ රුපියල් 1500කින් වැඩිකිරීම හෝ කළේ ඒ නිසාය. ඒ ඉහත පාගමනත්, ඊට පසුව කෙරුණු පාගමන් වලත් ප්‍රථිඵලයක් ලෙසටය.

නමුත් ආණ්ඩුව මෙහිදී දැනගත යුතු වැදගත් කරුණක් තිබේ. එනම් ජනාධිපතිවරණය උදෙසා අපට පෙන්වීමට උත්සහ කරන 'කැරට්' වලට සිසුන් මුලා නොවන බවය. මන්ද උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබන්නේ දියවන්නාව මොට්ටසෝරියේ සිටින කුඩු වෙළඳුන් ,මැරයන්, සල්ලාලයන් නොව උගත් බුද්ධිමත් සිසුන් පිරිසක් නිසාය. 


ප්‍රශ්ණවලට තාවකාලික පැලැස්තර යෙදීම එදා සිට අද දක්වා රාජපක්ෂ සහෝදර පාලනයේ යහපැවැත්මට හේතුසාධක විය. මන්ද රාජපක්ෂ වටේ සිටින සියලු වන්දිබට්ටයන් හැමදේකටම හෝයියා ගාන නිසාය. නමුත් රාජපක්ෂට ජනාධිපතිවරණය ලංවෙද්දී එක එක ඒවා ටික ටික තේරෙන්නට පටන් ගෙන ඇත. ඒ තේරෙන්නේද මේ විදිහට ගියහොත් තමන් ඡන්දය පරදින බව නිශ්චිතවම දන්නා නිසාය. මොන මොන දහම් ගැට ගැහුවද සත්‍යය සැමදා ජයගන්නවාමය. තමන් කරපු පව් වල විපාක විඳින්නට වෙනවාමය. එය ලෝක ධර්මයයි.


Monday

වෙද උපාධි විකිණීමට තිබේ...

වෙද සිසුවෝ හඬ නගනා කරුණ              ගැන
වප‍රැස යොමා මතුපිට අත ගා                 බලන
ඕනම තරාතිරමක සිටිනා                    නුඹෙන
ඉල්ලා සිටිමු ඇස් ඇර මෙය බලන          මෙන

කුඹුරට බහින අපෙ අප්පච්චිගෙ              සල්ලී
තේ දළු නෙළන නුඹලගෙ මවගේ          සල්ලී
දහඩිය හෙළන හැම ජනතාවගෙ            සල්ලී
අධ්‍යාපනේ නිදහස සපුරන                    සල්ලී

ව්‍යාපාරික ධනපති පන්තියේ                  සල්ලී
රජයේ සේවයෙ නිලධරයගෙ                 සල්ලී
වක්‍රාකාරයෙන් බදු වෙත යන                 සල්ලී
අධ්‍යාපනේ නිදහස ‍රැක දෙන                 සල්ලී

අධ්‍යාපනේ නිදහස ඇති                    ලංකාවේ
සා-පෙළ උසස්-පෙළ අප කාටත්        පොදුවේ
කැප වී ගොඩ නගා ගත් ප්‍රතිඵල           හමුවේ
සාධාරණව කාටත් යන මග                 හමුවේ

භේදය නැතිව දුප්පත් පෝසත්             ලෙසින
කැප වී විරියෙන් නුවණැස               හදාගෙන
අධ්‍යාපනේ පදනම ගොඩ               නගාගෙන
සරසවියට එත හැකිය දක්ෂයෙකු           මෙන

උපතින් නොගෙන ආමුත් මහ ලොකු වත්කම්
පාසල් දවස් වල සිට පෙන්වා              දස්කම්
මව්පිය මුවට ගෙන දී සිනහවෙ           සිත්තම්
වීරිය වඩා ගෙතුවෙමු දැනුමෙහි        ගෙත්තම්

අවුරුදු දෙක තුනක් ලැගලා උසස් පෙළ
මුල්වර නොමැති නම් කරලා දෙතුන් වර
‍රැයක් දවාලක් නොතකා නිදි නොලැබ
විඳි දුක මතක් වෙනවා කාගෙන ක‍ටුව

උසස් පෙළ ලියන්නට බොක්කෙන්   බැහැලා
අවුරුදු දෙක තුනක් කාලය කැප          කරලා
ලංකාවෙම ඉහළම ප්‍රතිඵල                  ලබලා
කැම්පස් ආවෙ අපි බුදු ගේමක්                දීලා

වෙදකම ඉගෙනුමට ගත යුතු           සුදුසුකම
උසස් පෙළින් ගත් ඉහළම              සමත්කම
පාවා මිළට දෙන උන් ඒ                 උගත්කම 
නොදනිති පෙනෙන බව උන්ගේ    පහත්කම

කැප වී ලබා ගත් යුතු සරසවි                 වරම
හෑල්ලුවට අද ලක් වී ඇති                     තරම
මිළ කළ නොහැකි වෙද අධ්‍යාපනයේ  දැනුම
රුපියල් ලක්ෂ සිය ගණනට යන          අරුම

සිදුවන මේ විනාශය ගැන             කියන්නට
වෙද සිසුවෝ සැම දෙනා නගනා          හඬට
ගරහන්නැතිව එන දේ කියමින්           කටට
හිතුවොත් හොඳයි දැන්වත් මේ ගැන හොඳට

ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය- ආණ්ඩුවේ ප්‍රතිපත්තිය
අධ්‍යාපනෙ විකුණන් කන- ආණ්ඩුවේ ප්‍රතිපත්තිය
වෙද සිසුවෝ හඬ නගලා- කියනා විට මේ විත්තිය
ඇස් ඇරලා බලාපියව්- වෙන්නට යන නස්පැත්තිය

නෙවිල් ප්‍රනාන්දුය කියලා- දාල ලොකු වාසගම
මාලඹෙ මඩුවක නටනවා- පී.එම්.සී නාඩගම
නීතිද අනුමත කරගෙන - පෙන්වා මහ සුදන කම
එස් බී දොඩයි වහගෙන- සුදු රෙද්දෙන් නීචකම

එස් බී ඇමතිගෙ සුරතල් බලු              කුක්කා
දැන් ලොකු වෙලා මාලඹෙ සයිටම්    කුක්කා
සල්ලි තියෙන උන් උගෙ කරපිට         දක්කා
වෙද උපාධියත් අද මුදලට                   වික්කා

අධ්‍යාපනේ නිදහස ලබමින්                  ගත්ත
මැති ඇමතිකම් හොබවන උන්         සද්දන්ත
අධ්‍යාපනේ සිඳලති අත්තෙන්                අත්ත
වැදූ අම්මාව විකුණාගෙන කන             හැත්ත

දීලා කඩේකට රුපියල් එකසිය             ලක්ස
වැඳලා දෙකට නැමිලා ඇමතිගෙ           පස්ස
ධනවත් එවුන් වෙදකමකට නැති            දස්ස
මාලඹෙ නමින් දාගති හර නැති              පුස්ස

එපා එපා දෙන්න එපා- ආණ්ඩුවට දෙන්න එපා
වෙද උපාධි විකුණන්නට- ආණ්ඩුවට දෙන්න එපා
බුද්ධිය ඇති ජනතාවනි - මෙය සුළු කොට තකන්නෙපා
පූජනීය වෙද වෘත්තිය- වැනසෙන්නට දෙන්න එපා

රජයේ වෙද විදුහල් වල- බිහි වෙති හොඳ දොස්තර වරු
සේවය සතහට සලසන- ප්‍රමිතියකින් පිරි නිරතුරු
විකිණුවොතින් වෙද උපාධි- මිට මෙලවූ විට මොණරූ
පඳුරකටත් පයින් ගසා- ගත හැකි මරු දොස්තර හොරු

හැමදේටම ආණ්ඩුවට                  කහින්නට
සිසුවන් නම් දණ නොනමති           මහින්දට
වෙද උපාධි විකුණන කඩ               දමන්නට
ඉඩ දෙන්නට බෑ වෙද කම            නසන්නට

විචාර බුද්ධිය කියනා- නාමයකුත් ඔළුවෙ නැතී
සමහර උදවිය හිටගෙන - වලිගය පාගා ගනිතී
'වෙද උපාධි කඩ- ඇති එකනම් මාර ගතී
'එහෙමත් කඩ දාන එකේ- වැ‍රැද්ද කිමදැ'යි අසතී

කියන්ඩ දේවල් නැති කොට - සමහරු වැදි බණ දෙසතී
ඒ වගෙ ගොන් පාට් වලට- නුවණැත්තන්ට හිනාත් යතී
සල්ලි දීල වෙද්දු වෙන්ට - යන උන් ප්‍රතිඵල නොමැතී
ඔච්චර ඉරිසියා මොටද- කියලා අපගෙන් අසතී

විචාර බුද්ධිය තියනා- වෙද සිසුවන් වූ අපි ලඟ
කුහක කමක් නෑ කවදත් - ඉගෙන ගන්න තව කෙනෙකුට
සල්ලි බලෙන් වෙද්දු වෙන්ට  - හොර පාරෙන් එනු වෙනුවට
උසස් පෙළින් ලැබිය යුතුයි - සුදුස්සාට සුදුසුම තැන

උසස් පෙළේ මැරිල මැරිල - ආවෙ අපි කැහිල්ලටද
වෙද උපාධි දෙන්නේ අද - සල්ලි තියෙන වලව්වටද
අර අදින්නේ අධ්‍යාපනේ - විකුණන් කන අඩව්වටද
එහෙනම් මේ උසස් පෙළක්- තියන්නේ මොන ඉලව්වටද

උසස් පෙළේ අභියෝගය - ජයගෙන එන්නට බැරිවද
පී එම් සී රිංගන්නට - ඇමතියො ලඟ පච වෙනවද
ප්‍රමිතියකට සමත් නොවී- වෙද්දු වෙන්ට හැකි වෙනවද
සල්ලි වලට ඔක්කොම ටික -කොරන්නට හැකියැයි හිතුවද

කුඩම්මාට බාර දීල - රජයේ කැම්පස් ටික
රජාගෙ හැන්දෙන් බෙදනවා- පී එම් සී කඩයට
ඉගෙන ගත්ත උන් පාරට - ඇද දාලා ටික ටික
අධ්‍යාපනේ විකුණනවා - වාසි නිසා මඩියට

අමු කැවිච්ච ඌරන් හට - වැළඳුණු පණු රෝගය
වැළඳුණු එස් බී නටනවා - පිට කර ගඳ වාතය
ලස්ස ගණන් මොණරු  ගන්ට - ඇති වී ඇති රාගය
පී එම් සී ඉදි කරවයි - ලැබෙනා ධන යෝගය

හොරෙන් ලියුම් ගහගෙන- පස්ස දොරෙන් පැන ගෙට
බෝලය බස්සාගෙන - ගරු සෞඛ්‍ය ඇමතිට
බැරිකම වහගන්නට - යන්ට අතක් නැති කොට
මාලඹේට දෙන්ට යනවා- රජයේ රෝහල් ටික

ලබා ගන්ට ලංකාවේ - වෙද සභාවේ අනුමැතිකම
සුදුසුකමක් සපුරලා නෑ - පී එම් සී ගුබ්බෑයම
හෑල්ලුවට නොදමා වෙද - උපාධියේ ගරුසරු කම
හකුළගනිව් වහාම දැන් - මේ මහ සක්විති හොරකම

මුවා වෙලා අරුම පුදුම                         ආශ්චර්යට
වෙද උපාධි විකුණනවා අද                       කාසියට
කවුරු මොනවා කිව්වත් තමුන්ගෙ             වාසියට
වෙද සිසුවන් නිහඬ වෙන්නේ නෑ            ලේසියට

හිතුමතේට හොරෙන් ගෙනෙන පනත් හකුළ ගනිව්
මුදල් පදනමට සිසුවන් ගැනුම නවත             ගනිව්
උසස් පෙළේ ප්‍රතිඵල මත සිසුන් බඳව           ගනිව්
මාලඹේ ජනසතු කෙරුමට දැන් පියවර         ගනිව් !!!

Wednesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (4)

7. පෞද්ගලික පාසල් සිසුන්ගේ අනාගතය කුමක්ද?

මෙය සාධාරණ ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ නීතිමය තත්වයන්ට අනුව පෞද්ගලික පාසල් ඉදිකිරීම තහනම්ය. නමුත් දිගින් දිගටම ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන් දුරදිග නොබලා අති විශාල ප්‍රමාණයෙන්, හන්දියක් හන්දියක් ගානේ පෞද්ගලික පාසල් ඉදි කරන ලදී. මෙසේ ඉදි කිරීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව කල විමසීම් පවා නොසලකා හරින ලදී.
         වර්ෂය
පෞද්ගලික පාසල් ගණන
  ශිෂ්‍ය සංඛ්‍යාව
1992
66
86782
2000
78
95383
2005
85
105048
මෙහිදී වැටහෙන කරුණක් නම් උසස් අධ්‍යාපනය පුද්ගලිකරණය සාධාරණය කිරීම් සඳහා කාලයක් තිස්සේ මෙම පුද්ගලික පාසල් වලට අතහිත දීම සිදු කරන ලද බවයි. එම නිසා සැබවින්ම රටේ සියලුම ශිෂ්‍යන් ගැන සිතා බලා තීරණ ගන්නේ නම් කල යුත්තේ වහාම එම සියලු පාසල් රජය යටතට පවරා ගෙන එම දරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම මිසෙක, 100 000 ක් පමණ වු දරුවන් පිරිසකගේ අනාගතය වෙනුවෙන් ලක්ෂ 60 ක පමණ දරුවන්ගේ අනාගතය අනතුරේ හෙලීම කිසිසේත්ම අනුමත කල නොහැකිය.


8.ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් වල ඉහලට ගමන් කිරීමට නම් රට තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කල යුතුය.

විශ්වවිද්‍යාල වල ගුණාත්මක භාවය හා තත්වය තීරණය වනුයේ එය අයත් වන්නේ රජයටද නැත්නම් පුද්ගලික අංශයටද යන්න මත නොව, එම ආයතනයට කොතරම් ප්‍රතිපාදන වෙන් වෙනවාද, භෞතික, මානව හා පර්යේෂණ කොතරම් ලබා දෙනවාද වැනි කරුණු මතයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පී අද ශ්‍රේණිගත කිරීම් වලින් පහත මට්ටමක පවතී නම් කල යුත්තේ වහාම ලබා දෙන ප්‍රතිපාදන ඉහල නංවා,භෞතික හා මානව සම්පත වැඩි දියුණු කිරීම මිසක උපාධි විකුණන සිල්ලර කඩ විවෘත කිරීම නොවේ. එමගින් මේ තරම්වත් ගුණාත්මක භාවයක් බලාපොරොත්තු විය නොහැක.

අනෙක් අතට ලෝකයේ හාර්වඩ්, ඔක්ස්ෆර්ඩ්, මොනෑෂ් වැනි විශ්වවිද්‍යාල ප්‍රභල ඒවා වූයේ ඒවා පෞද්ගලික අංශයට අයත් වු ඒවා නිසා නොව ඒවා ප්‍රමාණවත් සම්පත් සහිත බුද්ධියේ කේන්ද්‍රස්ථාන බවට පත් වු නිසාවෙනි. එමෙන්ම මේ එකඳු විශ්වවිද්‍යාලයක්වත් මුළුමනින්ම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ.




9. ලෝකයේ පවතින රැල්ල ‘අධ්‍යාපන පුද්ගලීකරණයයි’

ලෝකයේ එක් එක් රටවල් සංවර්ධනය වූයේ වෙනස් පසුබිම් වල සිටයි. 

මින් යුරෝපය ඇතුළු බටහිර රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර මුල පටන්ම පුද්ගලික අංශ ඔස්සේ දියුණු විය. මුල් කාලයේ මුදල් අය කලද ඉන් දැඩි සමාජ අසාධාරණයක් සිදු නොවිණි. එයට හේතුව වූයේ එම රටවල කම්කරුවන්ගේ පවා වැටුප් තල ඉහල මට්ටම් වල පැවතීමයි. නමුත් වර්තමානයේ ආර්ථික අර්බුද හා ආර්ථිකයේ දරුණු කඩාවැටීම් හමුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදුව, අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම වැනි හේතු නිසා මේ වන විට අධ්‍යාපන පෞද්ගලීකරණය බටහිර ලෝකය පුරාම නැවත ප්‍රශ්න කරවන තත්වයක් උද්ගත වී ඇත.
බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නුතන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව කල පර්යේෂණයක ප්‍රතිඵල British Medical Journal ජාත්‍යන්තර  සඟරාවේ පසුගිය කලාපයක පලවී තිබුණි. එහි ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඔව්හු මෙසේ තම අදහස ඉදිරිපත් කරති.

a.      විවිධ සමාජ පන්ති වලට අනුව වෛද්‍ය විද්‍යාව වෙත ඇතුලත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාවන් අතර විශාල අසමානකමක් දක්නට ලැබුණි. ( There are wide disparities in medical school admission by social classes )

b.     වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට මේ දක්වා දරූ ප්‍රයත්නයන් වලින් ඇති වූ බලපෑම සීමිතය. ( Widening participation initiatives in medicine have so far limited impact )

c.      කම්කරු පවුල් වල සිසු සිසුවියන් වෛද්‍ය විද්‍යාව දුටුවේ තමන්ගෙන් දුරස් වූ යථාර්තවාදී නොවූ හා තමන්ටම ආගන්තුක වූ අධ්‍යාපන ආයතන ලෙසයි. ( School people from working class background see medical school as distant, unreal and culturally alien )

මෙම නිගමන වලින් පෙන්වන යථාර්තය කුමක්ද? වත්මන් අර්බුදයත් සමග තමන් මෙතෙක් ආ මග ප්‍රශ්න කරද්දී, ‘පාඨමාලා ගාස්තු අඩු කරනු’ වැනි සටන් පාඨ සමග ලන්ඩන්, ඇතන්ස්, පැරිස් නගර වල වීදි සරසවි-පාසල් සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පිරී යද්දී එම යථාර්තයට පිටින් ගොස් එම කටුක සත්‍ය වසා දැමීමට අපේ රටේ උසස් අධ්‍යාපන ප්‍රධානීන් යයි කියාගන්නා කැලෑ සිවලුන්ට ඉඩ දීමට හැකිද..?

Tuesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (3)

5) නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාසල්, රාජ්‍ය විශ්ව විද්‍යාල වසා නොදමා පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම නිදහස් අධ්‍යාපනය නැති කිරීමක් නොවේ.

පෞද්ගලික බස් රථ සේවාවන්, පෞද්ගලික රෝහල් ආදිය ඇරඹීමේදී ද ආණ්ඩුව පැවසුයේ ද මෙයම ය. 

එක පසෙකින් රාජ්‍ය අංශය තිබියදී අනෙක් පසින් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන බවත් ජනතාවට එම අංශ දෙකෙන්ම වඩා වැඩි ප්‍රතිඵලයක් භුක්ති විඳිය හැකි බවත් කියවෙති.













නමුත් සිදු වූයේ කුමක්ද? කොමිස්, රාජ්‍ය අනුග්‍රහයේ අසමානතා, රජයේ ප්‍රතිපත්ති, ප්‍රතිපාදන කප්පාදුව හරහා ලංගමය වලපල්ලට යැවූ අතර සැමට එකසේ ප්‍රතිකාර ගැනීමට පවතින රජයේ රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ, විටෙක සේලයින් පවා හිඟ, පැය ගණන් පෝලිම් වල ලැගීමට සිදුවන ආයතන බවට පත්වන ලදී. ඒ අතරම අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ.
 
වසර
1977
1978
1981
1990
1995
2000
2006
2007
2008
2009
2011
ප්‍රතිශතය
6
4.1
2.38
2.97
2.83
2.46
2.67
2.59
2.27
2.8
1.87





1990 දශකයේ අගභාගයේදී තායිලන්තයට රැස්වූ ලෝක නායකයන් (ශ්‍රී ලංකාවද ඇතුළුව) අධ්‍යාපනය සඳහා වන වියදම් සීමා නොකල යුතු බවටත්; එය අවම වශයෙන් රටක දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වත් විය යුතු බවට ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව වර්තමානයේ විවිධ රටවල් කිහිපයක අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

රට
ප්‍රතිශතය
කියුබාව
8.50%
නොර්වේ
6.80%
ඇමරිකා එක්සත් ජනපදය
5.60%
ඉන්දියාව
4.10%
ඉතියෝපියාව
4.80%
ශ්‍රී ලංකාව
1.80%
 
 
 
 
 

 



ලෝකෙන්ම නිදහස් අධ්‍යාපනය පවතින්නේ අප රටෙහි පමණක් යැයි පාරම්බාන ආණ්ඩු අධ්‍යාපනයට සිදු කරන්න යන දේ ඉහත දත්ත වලින් පැහැදිලිය.
 
6) අධ්‍යාපනය නොමිලේ දුන් විට අගයක් නැත. ලබාදෙන සේවයට මුදල් ය කල යුතුය.

ලංකාවේ ශිෂ්‍යන්ට අධ්‍යාපන ලැබෙන්නේ නොමිලේ ද? 
යට මුදල වියදම් කරන්නේ කව්රුන්ද? යන පැනයන්ට පිළිතුරු සොයා බැලීම වටිනා දෙයකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායමින් 90% ක් බදු අදායම් වේ. ඉන් 53% වක්‍ර බදු වේ. (එනම් එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හරහා සාමාන්‍ය ජනයා ගෙවන බදු ය.) අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ මෙම බදු මුදල් වලිනි. එනම් පෙරලා අධ්‍යාපනය මුදල් වැය කරන්නේ රටේ ජනතාවයි. එනම් ශ්‍රී ලංකාවේ පවතින්නේ post paid නොව pre paid අධ්‍යාපන ක්‍රමයකි. දැන් අපි ඉල්ලා සිටිය යුත්තේ ගෙවූ මුදලට සරිලන සේවාවකි.

තවද ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තා වලට අනුව අප රටෙහි අධ්‍යාපනය හා සෞඛ්‍ය යන සේවාවන් නොමිලේ ලබාදෙන සේවාවන් යයි උපකල්පනය කෙරේ. ඒ අනුව රජයේ හෝ කිසිම ක්ෂේත්‍රයක වැටුප් තල සැකසීමේදී අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවට වැටුප් එකතු කිරීමක් සිදු නොකරයි.

අධ්‍යාපනයට මුදල් ගෙවිය යුතු සියලුම රටවල පාහේ මෙයට සරිලන මුදලක් වැටුප් තල වලට එකතු කරයි.

                            ·         5 දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත් වීමට වැය වන අවම මාසික වියදම = රු. 38 848.70
                                                                                    (රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව - 2010 මැයි)


                                                 මින් අධ්‍යාපනය සඳහා ගෙවිය හැකිද?

Sunday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (2)

3) විදේශ උපාධි ලබාගැනීම සඳහා විදේශ ගතවන ශිෂ්‍යයන් සමග වාර්ෂිකව රටට අහිමි වන විශාල මුදලක් අපේ රටෙහි රඳවාගැනීම සහ අදායම් උපයාගැනීම සඳහා PMC ඇති කල යුතුය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේම සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව 300 කට අධික පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගත වේ. ඔවුන් ගණන් බලා ඇති පරිදි එමගින් වාර්ෂිකව පිට රටට ඇදී යන මුදල දළ වශයෙන් රුපියල මිලියන 1600 කි (රුපියල් කෝටි 160 කි).

මෙය උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි අති විශාල මුදලක් නොවේ. 

විදෙස් සංචිත ඉතිරි කර ගැනීමට නම් මෙබඳු හානියක් සිදු නොකර තම නාස්ති වියදම් අඩු කිරීමෙන් හා යහපත් කළමනාකරණය තුලින් ඉතිරි කරගත හැකි බොහෝ අංශ තිබේ.

I. පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සුඛවිහරණය සඳහා වෙන්කළ මුදල රුපියල් කෝටි 160 කි.

II. පසුගියදා සුඛෝපභෝගී හෙලිකොප්ටර් යානා ගෙන්වීම සඳහා රජය වෙන්කළ මුදල රුපියල් කෝටි 1850 කි.
මෙය වසර 12ක් ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.

III. හෙජින් ගිවිසුම නිසා ලංකාවට අහිමි වූ මුදල රුපියල කෝටි 1700 කි.
මෙය වසර 11 ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.

IV. COPE වාර්තාවට අනුව 2006 වර්ෂයේදී පමණක් දුෂණ හා වංචා නිසා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15 000 (රාජ්‍ය අදායමෙන් 1/3 ක්!)

මීට අමතරව පහසුවෙන්, රටට හානියක් නොකර රට තුල නිපදවා ගත හැකි දේවල් වලින් වාර්ෂිකව විදේශයන්ට මුදල ඇදී යාම පහත පරිදි වේ. යහපත් කලමනාකරණයක් තුලින් අවශ්‍ය නම් මෙය වඩාත් හිතකර ලෙස නවත්වා ගත හැක.

• සීනි - රු කෝටි 2000
• කිරිපිටි - රු කෝටි 1900
• ටින් මාළු - රු කෝටි 1500

එබැවින් ආදයම් උපයා ගැනීම සඳහා නූපන් පරපුරක අනාගතය අනතුරේ දමනවා වෙනුවට කල හැකි බොහෝ දේ තිබේ. ඒවාට සාපේක්ෂව අධ්‍යාපනය නිසා ඇදී යන මුදල සොච්ච්ම් මුදලක් බව ඉහත කරුණු වලින් සනාථ වේ.

4)පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර ඇති කරන තරඟය මගින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම.

තරඟ කිරීමට නම් තරග කරුවන් දෙදෙනාම ශක්තිමත්ව සිටිය යුතුය. නමුත් මෙහිදී තරඟ කිරිමට සිදුවන්නේ වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රතිපාදන පවා ක්‍රම ක්‍රමයෙන් කප්පාදු කරන, රාජ්‍ය අනුග්‍රහය දිනෙන් දින ගිලිහෙන දිරාපත් වෙමින් පවතින රජයේ වෛද්‍ය පීඨ හා, මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ලැබෙන, නීතිමය රැකවරණය ලැබෙන, නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන රජයේ බැංකු වලින් ණය මුදල් පවා ලැබෙන (පසුගියදා ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 600 ක ණය මුදලක් මාලඹේ වෛද්‍ය උපාධි කඩය වෙත පිරිනමනු ලැබීය) පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සමගය. 

මෙහිදී රාජ්‍ය මාධ්‍යය එනම් නිවහල් නමක් තිබුණත් ආණ්ඩුවේ ගැතිකම් කරන ස්වාධීන නාලිකාව, ලංකාව සුරපුරයක් යැයි අහිංසක මහජනතාවට 'බොරු' ප්‍රවෘත්ති සපයන රූපවාහිනී නාලිකාව, හඩ්සන් සමරසිංහ මහතාගේ රාජපක්ෂ ප්‍රේම වෘතාන්තය ප්‍රචාරය කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නමින් තියෙන එෆ් එම් වගේම ඇත්ත සිද්ධි හංගා වැරදි පුවත් ප්‍රචාරය කරන දිනමිණ, දිවයින වැනි මුද්‍රිත මාධ්‍යය මාලඹේ වෙද උපාධි කඩයේ 'නැති' සෞභාග්‍යයක් රටට පෙන්වීමේදී ඉතා වැදගත් කාරය භාර්යක් ඉ‍ටු කරයි.

මෙහි හොඳම කරුණ වන්නේ ඒ කොතරම් පහසුකම් තිබුණද වැදගත්ම අවශ්‍යම දේ මාලඹේ වෙද කඩයට නැති වීමයි. එනම් බුද්ධිමත් සිසුන් පිරිසකි.

එබැවින් මෙවන් පාර්ශව දෙකක් තරග කිරීම හාවා සහ ඉබ්බා දිවීමට සලස්වා ජයග්‍රහකයා තේරීමට බලාපොරොත්තු වන ආකාරයේ ක්‍රියාවකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ රජයේ වෛද්‍ය අධ්‍යාපනය කඩා වැටීම හා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමුඛ වීමයි. ඒ ඔවුනට අවශ්‍යම දේ නොමැතත් ඉහත සඳහන් කළ සියලු අනුග්‍රහක සත්කාරයන් ලැබීමයි

Wednesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (1)

1)උසස් අධ්‍යාපනයට පවතින සීමිත අවස්ථා හමුවේ ,අවස්ථාව අහිමි වන දක්ෂ සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලබා දීම. 
උසස් අධ්‍යාපනයට සීමිත අවස්ථා ඇති බව සත්‍යකි.උසස් පෙලින් පසු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කල, 

ශ්‍රී ලංකාව -16.4% (2008; අද වන විට සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව අඩු නිසා මෙය මීටත් වඩා අඩු අගයකි)
පෝලන්තය-24.9% 
ඉතාලිය-41.4% 
ප්‍රංශය-51% 

මෙය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධවද ඒ ආකාරයෙන්ම වේ. වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට සුදුසුකම් සපුරන සිසුන් සංඛ්‍යාවෙන් වාර්ෂිකව ඇතුලත් වන්නේ 10% ක් පමණි. නමුත් මෙම ගැටලුවට පිළිතුර ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිපත් කිරීම හුදෙක්ම විහිළුවකි.
ඒ පෞ.වෛ.විද්‍යාල තුල අවස්ථාව හිමි වන්නේ අධික ලෙස මුදල් වියදම් කල හැකි සිසුන්ට පමනක් මිස සීමිත අවස්ථා නිසා සරසවි සිහින බොඳ වන දක්ෂ සිසුන්ට නොවන බැවිනි.


II.දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා සරසවි වරම් අහිමි වන නාගරික දිස්ත්‍රික්ක වල ඉහල ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ට අවස්ථාව ලැබීම.

පෙර කරුණ මෙන්ම මෙයද අර්ධ සත්‍යතාවයෙන් යුතු විහිළුවකි.
දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි, මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත් අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල යුතුය.

එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්‍රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්‍රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????

එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!

                                                     මතු සම්බන්ධයි...

Sunday

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය


1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25 වන වගන්තිය මෙසේයි

"කොමිෂන් සභාව විසින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව හා නියමාවලි මගින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව විශ්ව විද්‍යාලයක විභාග සඳහා අනුමත කරනු ලැබූ අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ කාලය සඳහා ආයතන පිළිගත හැකිය"

සරළව කිව්වොත් ඇමතිවරයාත් කොමිෂන් සභාවත් කැමතිනම් කැමති ආයතනයකට විශ්ව විද්‍යාල උපාධි ලබා දෙන්න පුළුවනි කියන එකයි සංකීර්ණ කරලා කියලා තියෙන්නේ. මොකද, කොන්දේසි තීරණය කරන්නේත් ඒ පිරිසමයි. මෙන්න මේ නීතිමය පදනමේ ඉඳන් 1981දී නිකුත් කරපු ගැසට් නිවේදනයක් මගින් 'උතුරු කොළඹ' නමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කලා. මේක ලංකා ඉතිහාසයේ පමු පෞද්ගලීකරණ උත්සාහයයි. 

ඒ කෙසේ වුණත් මෙම ආයතනය, ඒ අසාධාරණ පනත පවා උල්ලංඝනය කරපු ආයතනයක්. මෙහි සිසුන් හා කොළඹ වෛද්‍යා පීඨයේ සිසුන්ට පෙනී සිටීමට සිදු වුණේ එකම විභාග වලට. ඒ කියන්නේ සල්ලි දීලා උපාධි ගන්න ගිය අයට ලබා දෙන්න උත්සහ කලේ කොළඹ වෛද්‍ය පීඨ උපාධියමයි (MBBS-Colombo). මේ ආයතනයට ඇතුළත් වුණු අයගේ අධ්‍යාපන සුදුසුකම් ඉතා පහත් මට්ටමක පැවතුනා. උදාහරණයක් විදිහට මෙහි භෞතික විද්‍යාව අසමත් වූවන් වගේම  උසස් පෙළට ගෘහ විද්‍යාව හදාරපු  අය පවා හිටියා. 

රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය අනුව, ඇතුළත් වෙන වසරට පෙර වසරේදී සිසුවා උසස් පෙළ සමත් වී තිබිය යුතුයි. ඒත් ආරම්භක වසරේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ 140 අතරෙන් තොරතුරු හෙළි කළ 97 දෙනාගෙන් 75 දෙනෙක් මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබුණා.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ සුදුසුකම්.
1.උසස් පෙළ ප්‍රතිඵල - 70%
2.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල - 10%
3.සම්මුඛ පරීක්ෂණය - 10%
4.වෙනත් ක්‍රියාකාරකම් හා 'පවුලේ තත්වය' - 10%
මේ විදිහට කොන්දේසි තිබුණත් ඇත්තටම සිදු වුණේ වරප්‍රසාද තියෙන සල්ලි බලය , දේශපාලන බලය තියෙන පවුල් වල නූගත් දරුවන් බහුතරයකට පමණක් වෛද්‍ය උපාධිය ගන්න වරම් ලැබීමයි. එක් වසරක උසස් පෙළ විභාගයෙන් ලකුණු 279  ගත් සිසුන්ට පවා වෛද්‍යවරයෙකු වීමේ ඉඩකඩ අහිමි වෙද්දී ලකුණු 167ක් ලබාගත් රජයේ ඇමතිවරයෙකුගේ දියණියක් වෛද්‍යවරියක් වීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළත් වීම පවා සිදුවුනා.(එදින පැවතුනේ Z අගයන් මත නොව ලකුණු මත විශ්ව විශ්ව විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමවේදයකි)

මෙය නමට පෞද්ගලික වුණත් ඉගෙනගැනීමට වරම් ලැබුවේ වරප්‍රසාද ලැබූ එක් පන්තියක දරුවන් වුණත් රජය මේ සඳහා රුපියල් කෝටි 200ක් වියදම් කර තිබුණා. ඒ දවස් වල අවුරුද්දකට රජයේ සරසවි සියල්ලටම වැය කලේ රුපියල් කෝටි 30ක් පමණයි. ඒකෙන්ම පේන්නේ තම තමංගේ ධනවාදී, සල්ලිකාර පන්තිය ‍රැක ගන්න රජය කොච්චර මහන්සි වුණාද කියන එකයි.
රාගම වෛද්‍ය පීඨය
ඒ කෙසේ වුණත් දිගු කාලයක් තිස්සේ කෙරුණු අධිෂ්ඨාන සහගත දුෂ්කර අරගලයකින් පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1988දී ජනසතු කර රජයට පවරා ගත්තා. මේ විදිහට නිදහස් අධ්‍යාපනය ලබාදෙන තවත් වෛද්‍ය පීඨයක් ශ්‍රී ලාංකීය දරුවන් වන අපිට උරුම වුණා. ඒ රාගම වෛද්‍ය පීඨයයි. 
රාගම වෛද්‍ය පීඨ ලාංඡනය

ඒ සිසු සටන් සඳහා නායකත්වය සැපයූ කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, ත්‍රිමා විතාරණ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න ඇතුළු සොයුරන් නමදෙනෙකු හා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 120 දෙනෙකුට මේ අරගලයේදී තම ජීවිත පවා කැප කිරීමට සිදු වුණා. නමුත් නිදහස් අධ්‍යාපනය සු‍රැකුනා.

ඉතිහාසයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමේ උත්සාහයන්
1.1981-උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
2.1981-යාපනය උතුරු ලංකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 
3.1997-එංගලන්තයේ 'ඇබර්ඩීන්' විශ්ව විද්‍යාලයට අනුබද්ධව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඉදිකිරීමට උත්සහ කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
4.1999-ඉන්දියාවේ 'රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලයට අනුබද්ධව පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
5.2002-'ටැන්සානියාවේ විග්නින්'  විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පිළියන්දල පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

6.2003-ඉන්දියාවේ 'විත්යා මිථ්ත්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහි‍ටුවීමට උත්සහ කිරීම
7.2006-'විග්නින්'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට නැවත උත්සහ කිරීම
8.2009-මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

මෙම උත්සාහයන්ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමුඛ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල හමුවේ නවත්වන්නට සිදු වුණා. 
පදනමක් නොමැතිව, හරයක් නොමැතිව වර්තමානයේ වැජඹීමට උත්සහ කරන මාළඹේ වෙද උපාධි කඩය නවත්වන දවසත් වැඩි ඈතක නෙවෙයි.