කළමණාකරණ පීඨයක් ලෙස අවසර ගෙන ස්ථාපිත කොට පසුව හොර වෛද්‍ය පීඨයක් ලෙස නම වෙනස් කර ඇති මාළඹේ හොර වෙද උපාධි කඩය ආරම්භයේ සිටම රටේ නීතිය හෑල්ලුවට ලක් කර ඇත. එනම් ඉංග්‍රීසියෙන් කළමණාකරණ(Management) යන්න පසුව වෛද්‍ය(Medicine) යන්නට වෙනස් කොට ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ කමිටුවේ( Board of investment) SAITM (South Asian Institute of Technology and Management) ලෙස ලියාපදිංචි වූ මෙම හොර උපාධි ආයතනය පසුව South Asian Institute of Technology and Medicine ලෙස වෙනස් කොට ඇත. එනමුත් නම වෙනස් කළ පසු නැවත ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ කමිටුවේ අවසරය ද ගෙන නොමැත.
 |
| බස් වෙළඳ දැන්වීමක් |
එසේම ශික්ෂණ රෝහලක් නොවුණද නෙවිල් ෆනෑන්ඩූ පෞද්ගලික රෝහල 'මාළඹේ ශික්ෂණ රෝහල' ලෙස පුවත්පත් වල හා පෞද්ගලික බස් රථ වල වෙළඳ දැන්වීම් පළකිරීමද කරගෙන යයි.ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියද නොමැතිවයි.
කටයුතු මෙසේ තිබියදී, පසුගියදා මාළඹේ හොර වෙද උපාධි කඩයේ දෙමාපිය සංගමයේ නියෝජිතයන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේව මුණ ගැසුණි. මෙහිදී තීරක කාර්යයභාරයක් සිදුකරන ලද්දේ එම දෙමාපිය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසිනි.
මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ එදිනම සවස පුවත්පත් සාකච්ඡාවක් කැඳවා 'මාළඹේ සිසුන්ට රජය් අවිසින් සියළු පහසුකම් ලබාදී වෛද්‍යවරුන් බවට පත් කළ යුතු බව' පවසන ලදී. බස්ගැමුණු මහතා මෙම කපටි ක්‍රියාව සිදු කළේ, එනම් ස්වාමීන් වහන්සේව මුණ ගැසුනේ 'සාධාරණ සමාජයක් සංවිධානය' හරහා උන්වහන්සේ ඇතිකරගෙන ඇති සමාජ ආකර්ෂණය පාවිච්චි කර, ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති මාලඹේ හොර වෙද උපාධි කඩය රැක ගැනීමේ පටු අරමුණෙනි.
බස්ගැමුණු මහතා ඇතුළු එම සංගමයේ කපටි වැඩපිළිවෙල කෙතරම්ද කියතොත් පසුගිය නොවැම්බර් 14 වැනිදා, එනම් පසුගිය සිකුරාදා මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ හදිසියේ රෝගී වූ පසුද ඇතුළත් කර ඇත්තේ මාළඹේ නෙවිල් ෆනෑන්ඩූ පෞද්ගලික රෝහල වෙතටය.රෝහල පෞද්ගලික වුවද උන් වහන්සේගෙන් සතපහක්වත් අයකරගෙන නොමැති අතර, මෙම ක්‍රියාව වක්‍රාකාරයෙන් පගාව දී හෝ 'හොර උපාධි කඩය' ආරක්ෂා කරගැනීමට දරන උත්සාහයක් බවසක්සුදක් සේ පැහැදිලි වේ.
එසේම කලකට පසු 'බලෙන්' හෝ රෝගියෙක් ඇතුළත් කර ගැනීමෙන් හෝ මෙම රෝහලට රෝගියෙකු පැමිණීමෙන් එහි සිටින සිසුන්ද ප්‍රීතියෙන් පිනා ගොස් ඇත.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් ගණනාවක් තිබියදී මෙසේ පහසුකම් පමණක් ඇති, සුදුසුකම් නොමැති රෝහලකට පුද්ගලයෙක් අසරණ වූ විටදී නොමග යවා ඇතුළත් කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තම නොසතුට පළ කරයි. එම රෝහලට ඇතුළත් වූ කවීෂ පුතුට අත් වූ ඉරණමද ඔබට මතක ඇති.
රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලෙස අවසන් වශයෙන් අප ඉල්ලා සිටින්නේ රටේ දැනට ඇති අකටයුතු මැරකම් පෙරටුකොටගත් රාජපක්ෂ පවුල් පාලන සංස්ථාව නිම කිරීමට පෙරමුණ ගෙන සිටින මාදුළුවාවේ සෝභිත හිමියනි , ඔබවහන්සේ සක්විති ව්‍යාපාරිකයින්ගේ දහංගැට වලට හසු නොවී දුරදිග බලා තීරණ ගන්නා ලෙසය. හොඳ මූණ ඉදිරියට දාගෙන සිල්වත් ලෙස වැඳගෙන සිටියාට මොවුන් ලෝකෙත් කා වතුර බී ඇති පිරිසකි. රාජපක්ෂත් එක්ක ගනුදෙනු කිරීමට එසේ ලේසියකට බැරිය. ඒ මහින්ද රාජපක්ෂ්ගේ බුද්ධිමත් බවක් නිසා නොව, කපටි කම නිසාය. බුද්ධිමත් නම් සාක්ෂි ඉතුරු නොවෙන්නට මිනී මරයි. නමුත් මහින්දට එසේ බැරිය. කපටිකමනම් ඇත.තමන්ගේ කුණු අනුන්ගේ බක්කි වලට දැමීමට හපන් වී ඇත්තේ එබැවිනි.බස්ගැමුණු වැන්නන් මෙවැනි මිනිසුන් සමග එකට සවාරි යන්නන්ය. එවැනි මිනිසුන් වක්‍රාකාරයෙන් හෝ උදව් කරන්නේ නිකමටනම් නොවේය.
අපි ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !!!
ලංකාවේ වසර තිහක යුද්ධයේ අමිහිරි මතක සටහන් අප කාගේත් සිත් තුළ තාමත් රැව් පිළිරැව් දෙයි. මහින්ද රාජපක්ෂ මාකට් කර කර විකුණන්නේද මෙම මතකයන්ය. අප සොල්දාදුවන් තම දිවි කැපකොට දිනාගත් නිදහස මුවාවෙන් ඇතැමුන් කිඹුල් කඳුළු පෙරට දා තම බඩ වඩා ගැනීමටත් සමාජ පන්තිය රැක ගැනීමටත් උත්සහ කරන අන්දම ඉතාම නින්දාසහගතය. එවැනි එක් උත්සාහයකි රාජපක්ෂ සහෝදර රෙජීමයේ කොතලාවල මිලිටරි වෙද විදුහල.
වසර 30ක යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශවල රාජකාරී කලේ රාජ්‍ය නිලධාරීන් දෙවර්ගයක් පමණි. ඒ හමුදා සෙබළුන් හා රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අපගේ වෛද්‍යවරුනුත් පමණි. වසර 2009දී ඉතා දැවැන්ත උත්සාහයකින් අනතුරුව යුද්ධය ජයග්‍රහණය කිරීමට අපට හැකිවිය. එතෙක් මෙම වෛද්‍ය නිලධාරීන් නිසි පහසුකම් හා සහයද නොමැතිව හමුදා සෙබළුන් සුවපත් කිරීමේ කටයුතු තම රාජකාරියක් පමණක් ලෙස නොසිතා යුතුකම පෙරටු කොට ගෙන ඉටු කලහ.
එසේ මහන්සි වී යුද්ධය අවසන් කළ පසු, යුද්ධය පවතිද්දීවත් රටට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වූ 'මිලිටරි වෛද්‍යවරුන්' බිහි කිරීමේ මහඟු කර්තව්‍යයට ගෝඨාභය රාජපක්ෂ අතගැසුවේය.ඒ එතෙක් කලක් යුධ හමුදා නිලධාරීන් පුහුණු කළ කොතලාවල ආරක්ෂක පුහුණු පාසල තුළ මිලිටරි වෙද විදුහලක් 2009 දී ආරම්භ කරමිනි.
මෙය සත්ක්‍රියාවක් ලෙස ලෝකයාට පෙන්වීමට ගෝඨාභය ගන්නේ මහඟු උත්සාහයකි. ආරම්භයේදී කිසියම් වූ විනිවිධ භාවයකින් යුක්තව සිසුන් බඳවා ගත්තද පසු කාලීනව සිල් රෙද්ද ඉවත් විය ,සැඟවී තිබූ යටි අරුත එළිදරව් විය. මිලිටරි වෙද විදුහලට ඇතුළත් කරගැනීමට සපුරාලිය යුතු සුදුසුකම් ලැයිස්තුව කියවීමෙන්ම පමණක් මෙය අවබෝධ කරගත හැක.
ආරම්භයේදී z අගය හා කායික යෝග්‍යතාවය යන කරුණු සළකා සිසුන් බඳවා ගන්නා ලදී. නමුත් පසු කාලීනව z අගය නොසලකා මැති ඇමති වරුන්ගේ හා හමුදා උසස් නිලධාරීන්ගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මතද, උසස් ආර්ථික හා සමාජ මට්ටමට තැන දෙමින්ද සිසුන් බඳවාගන්නා ලදී. දැනට තත්ත්වය තවතවත් නරක අතට හැරෙමින් පවතී.ඒ විදේශ සිසුන් (මාලදිවයින, නේපාලය, භූතානය) සඳහා මිලිටරි වෙද විදුහලේ දොරටු, මුදලට විවෘත කිරීමත් සමගිනි.
මෙය ශ්‍රී ලංකාවේ පවතින ගුණාත්මක බවින් ඉහළ වෛද්‍ය අධ්‍යාපනයටත් නිදහස් සෞඛ්‍යයටත්, නිදහස් සෞඛ්‍යය ක්ෂේත්‍රයටත් මහත් තර්ජනයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
මෙහි අළුත්ම මෙහෙයුම වී ඇත්තේ තමන්ට වෘත්තියේදී නොලැබෙන ජ්‍යේෂ්ඨත්වය හොර පාරෙන් ලබා ගැනීමයි.
සිද්ධිය සරළව මෙසේය. මිලිටරි වෙද විදුහලේ පලමු කණ්ඩායම වන්නේ 2008 උසස් පෙළ කණ්ඩායමයි. රජයේ වෛද්‍ය පීඨවල 2008 උසස් පෙළ සිසුන් අවසන් වසර විභාගයට තවම සැරසෙද්දී මොවුන් එය අවසන් කර 2007 උසස් පෙළ රජයේ වෛද්‍ය සිසුන් සමඟ නේවාසික පුහුණුවට එක් වීමට සැරසෙයි. ඒ ගෝඨාභයගේ හයිකාරකමිනි, චණ්ඩිකමිනි. එදා සිට අද දක්වා රාජපක්ෂ තම පාලනය ගෙන ගියේද මෙලෙස හයිකාරකම් පෙන්වීමෙනි.
මෙහි වැදගත් තවත් කරුණක් වන්නේ z අගය අනුව බඳවා නොගත්තද සිටින සියළුම සිසුන්ට අදහාගැනීමටත් අපහසු විභාග ප්‍රතිඵල තිබීමයි. මෙයත් මහින්දගේ තවත් ආශ්චර්යයකි.
වෛද්‍ය වෘත්තිය රැඳී පැවතී ඇත්තේත් රැකෙන්නේත් වෘත්තීය ජ්‍යේෂ්ඨත්වය මතයි. අනාගතයේදී හොර පාරෙන් එන මෙවැනි මිලිටරි වෙද්දුන් ආශ්චර්යමත් ලෙස ජ්‍යේෂ්ඨත්වට පැමිණීමෙන් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේම කොඳු නාරටිය බිඳවැටෙනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.
මාලඹේ හොර වෙද උපාධි කඩය වැසීමට ඔන්න මෙන්න තිබියදී, එය පිරිමැසීමට උත්සහ කරන කොතලාවල මිලිටරි වෙද විදුහල, ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ආ රාජ්‍යය දූෂණයේ කළු අවතාරයකි.
මෙය පරාද කරන සටනද දැන් ආරම්භ වී ඇත. එදා මෙන්ම අදත් හෙටත් සරසවි සිසු සටන් ජයග්‍රණයෙන් තොරව නැවතී නැත. කෙතරම් පාරම්බෑවද කොතලාවල මිලිටරි ඇකඩමියට නුදුරු අනාගතයේදී සිදු වන්නේද රාජ්‍ය වෛද්‍ය සිසුන් ඉල්ලන ගුණාත්මක බව උදෙසා z අගය මත පමණක් සිසුන් බඳවාගැනීමටය. මුදලට බලයට වෙද උපාධි විකිණූ යුගය අවසන්ය. මේ බුද්ධිමත් මිනිසුන්ගේ යුගයයි...
පසුගිය සැප්තැම්බර් මාසයේ මාලඹේ හොර වෙද උපාධි කඩයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට වාර්තාවක් ඉදිරිපත් කලා. ඒ ඔවුන් සතු පහසුකම් පෙන්වීමටත් හා අනුමැතිය ලබා ගැනීමට විවිධ කරුණු පෙන්වීමටත්ය.මෙම වාර්ථාව සළකා වෛද්‍ය සභාවෙන් පළපුරුදු මහාචාර්යවරුන් කිහිපදෙනෙකුගේ අදහස් විමසා සිටියා. මේ සඳහා තෝරාගනු ලැබුවේ මහාචාර්ය නිලන්ති ද සිල්වා (රාගම වෛද්‍ය පීඨාධිපතිනිය), මහාචාර්ය කොල්වින් ගුණරත්න හා මහාචාර්ය රිස්වි ශෙරිෆ් (කොළඹ වෛද්‍යපීඨයේ හිටපු මහාචාර්ය වරුන්) යන අයයි. මොවුන්ගේ පිළිතුරු වාර්ථා වල සඳහන් සංක්ෂිප්තය වන්නේ මාලඹේට හොඳට මුදල් ලැබෙන බවත්, විද්‍යාගාර පහසුකම්, දේශණ ශාලා වැනි භෞතික පහසුකම් හොඳට ඇති බවත් , එනමුත් තිබිය යුතුම පහසුකම වන සායනික පුහුණුව ලැබීමට අවශ්‍යවන රෝහල් වටපිටාව නොමැති බවත් ය.
මුදල් වලට ඇති කෑදරකමට අවිධිමත් ලෙස සිසුන් මෙයට බඳව ගත්තද, ඔවුනටවත් ප්‍රමාණවත් තරමට අවශ්‍ය පහසුකම් ලබාදීමට වෙද උපාධි කඩය අපොහොසත් වී ඇත.
උදාහරණයක් ගතහොත් රජයේ වෛද්‍ය පීඨයක එක් සිසුවකුට දිනකට රෝගීන් අටක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පැවරුණද මාලඹේ සිසුන් පස්දෙනෙකුට ම යොමුවන්නේ එක් රෝගියෙක් පමණි. මෙයට හේතුව ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක එවැනි පෞද්ගලික රෝහලක අධික මුදලක් ගෙවා (සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂයකට වඩා) නේවාසික ප්‍රථිකාර ගැනීමට හැකිවන්නේ ඉතාම සීමිත පිරිසකට බැවිනි. ඇතැම් දිනවල මුළු වාට්‍ටුවටම සිටිනුයේ නේවාසික රෝගීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණි.
කායික රෝග සහ ශල්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තත්ත්වය මෙසේ වෙද්දී වෛද්‍ය පුහුණුවට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුත් උප විශේෂාංග වන වකුගඩු රෝග, ළය රෝග, අන්ත්‍ර රෝග සම්බන්ධ ඒකක මෙහි සායනික මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේවත් නැත.
අධිකරණ වෛද්‍ය විද්‍යාව, ප්‍රජා වෛද්‍ය විද්‍යාව, බෝවන රෝග පාලන විද්‍යාව වැනි අංග වලට අදාළ අධ්‍යාපනයක් හා පුහුණුවක් මෙහි සිසුන්ට ලැබෙන්නේද නැත.හේතුව වන්නේ මෙම අංග පෞද්ගලීකරණය කිරීමට කිසිසේත්ම නොහැකි වීමයි. උදාහරණයක් ගතහොත් අධිකරණ වෛද්‍ය විද්‍යාව පෞද්ගලීකරණය වුවහොත් මිනීමැරුමක මරණ පරීක්ෂණ වාර්තා වුවද මුදල් මත තීරණයවනු ඇත.එනම් මිනීමැරුමක් සාමාන්‍යමරණයක් ලෙස වුවද මුදල් මත තීරණය වන යුගයක් උදාවනු ඇත.
මෙම කරුණු සැලකිල්ලට ගෙන මහාචාර්යවරුන් තිදෙනා ගත් නිගමනය වන්නේ මාළඹේ ගැන සොයා බැලීමට වෛද්‍යසභාවෙන් පියවර ගත යුතු බවයි.
මෙම සොයාබැලීමට කමිටුවක් පත් කරගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා වෛද්‍ය සභාවේ රැස්වීමක් පැවැත්වුණා. මෙහිදී වෛද්‍ය සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට සාමකාමී නිහඬ විරෝධතාවයක් දැක්වූවා.එලෙසම සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති රැසක් එකතුව වෛද්‍ය සභාවට ලිපියක් යොමු කරමින් පැවසූයේද මාලඹේ උපාධි කඩය සුදුසුකම් සපුරා නැති බව ඇස් පනාපිට පෙනෙද්දී එලෙස කමිටුවක් පත් කර ගැනීමට අනවශ්‍ය බව දන්වමින්.
මෙම රැස්වීම අතරතුරදී එයට සහභාගී වූ ලංකාවේ සියළුම වෛද්‍ය පීඨ වල පීඨාධිපතිවරුන්ගෙන්ද( යාපනය, නැගෙනහිර වෛද්‍යපීඨ ඇතුළුව) මෙම කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
එම නිසා අවසානයේ වෛද්‍ය සභාවෙන් කමිටුවක් පත් නොකිරීමටත්, ප්‍රමාණවත් සායනික පහසුකම් සපුරාගතහොත් පමණක් තීරණය පිළිබඳ නැවත සලකා බැලීමටත් තීරණය කළා.
මේ අතර හාස්‍යයට කරුණක් වන්නේ මහජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාව තහවුරු කරමින් 1924 සිට ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගුණාත්මක බව පිළිබඳව මාළඹේ දෙමාපිය සංසදය විසින් ප්‍රශ්ණ කර වෛද්‍ය සභාවටම ලිපියක් එවා තිබීමයි.
ලෝකයේම පිළිගත් වෛද්‍ය උපාධි ලබාදෙන ලංකාවේ වෛද්‍ය සභාව සමන්විත වන්නේ දැනට ලංකාවේ සිටින උසස්ම ආචාර්ය, මහාචාර්ය වරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙනි. වසර සියයකට ආසන්න කාලයක් ගුණාත්මක සෞඛ්‍යය සේවයක් හා ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදුන් මෙම ආයතනයේ සුදුසුකම් සෙවීමට ඉදිරිපත්වීමෙන් ම ඔවුන්ගේ අඥාණබව හා පටු අරමුණු ප්‍රදර්ශණය වේ.
මෙහිදී බස් ගැමුණු ඉතා මහන්සියෙන් වැඩ කළ බව ආරංචිය. තමන් අඥාණ බව සැබෑය. නමුත් එය ප්‍රදර්ශණය නොකර සිටීමට තරම් වත් තේරුමක් නොමැත.
අවසානයේ අපට පැවසීමට ඇත්තේ කෙතරම් පාරම්බෑවද මාලඹේ හොර වෙද උපාධි කඩය ලංකාව තුළ පිළිගන්නේ නැති බවය. එය එදාටත් අදටත් හෙටටත් එසේමය.මෙය ජනසතු වී ගුණාත්මක තත්ත්වයට උසස් කරන දිනය වැඩි ඈතක නොවේ. එය බස් ගැමුණු වැනි අඥාණයන්ට නොපෙනීම පුදුමයට කරුණක්ද නොවේ. කෙසේ වුවද වතුර රත් වන තුරු කකුළුවා දිය කෙළිනු ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන්, වෛද්‍ය පුහුණුවේත් වෛද්‍ය වරුන්ගේ විනය ආරක්ෂා කිරීමේත් වගකීම දරන නිලලත් ආයතනයයි.නමුත් පසුගිය දශක කිහිපය තුල මුදලට, බලයට වෛද්‍ය වෘත්තියට ඇතුලත් වීමට උත්සහ ගත් විවිධ පාර්ශව වෙතින් වෛද්‍ය සභාවට විවිධාකාර තාඩන පීඩන එල්ල විය.
 |
| කාටූනය - අවන්ත ආටිගල |
සභාපතිවරයෙකුගේ නිවසට අත් බෝම්බ ගැසීම,ලේඛනාධිකාරී විශේෂඥ වෛද්‍යවරයාට සහ සාමාජික විශේෂඥ වෛද්‍යවරයෙකුට තාඩන පීඩන එල්ල කිරීම,වෛද්‍ය සභාව විසිරුවාහරින බවට ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම, සහ විවිධ අණපනත් හිතුමතයට වෙනස් කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙනයාමට මග පාදා ගැනීම ඒ අතර වේ.
පුහුණුවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාළඹේ වෙද උපාධි කඩය තවමත් පිළිගැනීමකට ලක් කර නැත. යම් වෛද්‍ය විද්‍යාලයක් එය පිහිටි රටේ වෛද්‍ය සභාවෙන් පිලි නොගන්නා වෛද්‍ය උපාධියක් පිරිනමන්නේ නම්,ලෝකයේ කිසිදු රටක් විසින් එය නීතිමය ලෙසින් පිලි නොගනී.ඒ අනුව මෙම මාලඹේ පුද්ගලික ආයතනයේ සිසුන්ට සිදුවන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමටය.නැතහොත් එම සභාවේ අනුමැතිය නොමැතිව වෛද්‍යවරයෙකු ලෙස මෙරට රැකියාව කිරීමට නීතිරීති සකස් කරගැනීමය. දැනටමත් එසේ සිදු කරගනිමින් සිටී. යම් හෙයකින් වෛද්‍ය සභාව මෙවැනි ආයතනයකට අනුමැතිය ලබා දුනහොත්,එය විශ්වාසය අහිමි කරගත් සහ දේශපාලන බලපෑම්වලට යටත් වන වෛද්‍ය සභාවක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධ වීම වැලැක්විය නොහැක. තවද එම සභාව මගින් නියාමනය වන මෙරට සියලු වෛද්‍ය පීඨ සහ වෛද්‍ය උපාධිධාරීන් අපහසුතාවයට පත් වීමත් වැලැක්විය නොහැක.
මෙම ක්‍රියාවලියෙන් පෙන්නුම් කරන්නේ පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතන බිහිකිරීමට උත්සහ දරන අතලොස්සක් වූ දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, දෙමව්පියන් සහ වෘත්තිකයින් කෙතරම් අත්තනෝමතික සහ වගකීම් විරහිත ලෙස කටයුතු සිදුකරන බවද යන්නයි.
වෛද්‍ය පුහුණුව පිළිබඳ ලෝක සම්මතය.
උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ මේ සම්බන්ධ තත්වය බලමු. අප රටට බටහිර වෛද්‍ය ක්‍රමයත්, වෛද්‍ය සහ පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමයත් සඳහා ආභාශය ලබුනේ මහා බ්‍රිතාන්‍යයෙනි. එමෙන්ම 1977න් පසු අප රටේ සියලු ආණ්ඩුවල ආර්ථික ක්‍රමය වූ ලිබරල් වෙළෙඳපල ආර්ථිකයේ නියමුවා ලෙසද එරට හඳුනාගත හැක.වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වී වසර සිය ගණනක් වූවද, අදටත් බ්‍රිතාන්‍යයේ කිසිඳු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොමැත. එහෙත් බ්‍රිතාන්‍ය ගුරුන්ගෙන් ඉගෙනගත් අප රටේ දේශපාලන ශිෂ්‍යයින් සිදුකලේ කුමක්ද? විවෘත වෙළෙඳපල ආර්ථිකය හඳුන්වා දී වසර පහක් ගතවන්නටත් පෙර,වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම විවෘත වෙළෙඳපලට භාරදීමට එවක ආණ්ඩුව කටයුතු කළේය. ඒ ආරම්භය අද දක්වා වරින් වර විවිධ උපක්‍රම අනුගමනය කරමින් දිගින් දිගට කරගෙන යාමට සියලු ආණ්ඩු උත්සහ කලේය.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව ( General Medical Council -GMC ) සතු කාර්යභාරය සහ බලතල අති විශාල වන අතර එය වග කියන්නේ මහජනතාවට සහ ඔවුන්ගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තුවට පමණි. එම වෛද්‍ය සභාව ආණ්ඩුවෙන් සහ වෘත්තිකයන්ගෙන් ස්වාධීනව පවත්වාගෙන යයි. එම සභාවෙ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙසේය.
''We are not here to protect the medical profession-their interests are protected by others.Our job is to protect patients.We are independent from government and the profession and accountable for parliament. ''
''අප සිටින්නේ වෛද්‍ය වෘත්තිකයන් ආරක්ෂා කිරීමට නොවේ.ඔවුන්ගේ ඕනෑකම් සඳහා වෙනත් පාර්ශව සිටී.අපේ රාජකාරිය වන්නේ රෝගීන් ආරක්ෂා කිරීමයි. අප ආණ්ඩුවෙන්ද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ද ස්වාධීන වන අතර, අප වගකියන්නේ පාර්ලිමේන්තුවටය. ''
අප රටේ වෛද්‍ය සභාවට බලපෑම් කරන්නේ කෙසේ ද සහ එහි නියාමනය මගහැර යන්නේ කෙසේදැයි ඉහත සඳහන් කලෙමු. මහජන ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනයක් වන වෛද්‍ය සභාවකට ඒ ආකාරයට අයුතු බලපෑම්කරන සහ එහි නියාමනය දේශපාලන බලයෙන් මගහැර යන රජයක් සිටිනා එකම රට ලංකාවයි.
විවෘත වෙළෙඳපොලට මුදාහරින්නේ මොනවාද, එය නියාමනය කලයුත්තේ කෙසේද, පූර්ණ රාජ්‍ය ආධිපත්‍ය යටතේ තබාගත යුත්තේ කුමන අංශදැයි අද සිටින ලිබරල් ආර්ථිකයේ නියමුවන් මනාව වටහාගෙන නැති බව මෙයින් පැහැදිලි වේ.
මේ ආකාරයට වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ආණ්ඩුවේ බලධාරීන් ජනතාවගේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදු කරන්නේ කුමක්ද?....
1. අහිංසක ජීවිත සිය ගනනින් බිලි ගන්නා ඩෙංගු, වකුගඩු රෝග, බෝ නොවන රෝග නිවාරණයට නිසි ක්‍රමවේදයක් නැත.
2. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත.
3. රජයේ සෞඛ්‍ය සෙවාවට දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක් වෙන් කරන්නේ නැත. ලෝක සම්මතය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය එසේ වුවද, අප රටේ එය 1.3%ක් වේ.එය ලෝකයේ එම අගය අඩුම රටවල් 18 අතරට ශ්‍රී ලංකාවද අයත් වේ.
4. පෞද්ගලික වෛද්‍ය සේවාව නියාමනය කෙරෙන්නේ නැත.
5. 2006 වැටුප් සහ උසස්වීම් සෞඛ්‍ය වෘතිකයින්ට ලබා දෙන්නේ නැත.
6. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත.
7. රජයේ වෛද්‍ය සේවවේ වෘත්තිකයන්ගේ හිඟයට පිළියම් යොදන්නේ නැත.
8. රටේ සමස්ථ සෞඛ්‍ය සෙවාව ජනතා අවශ්‍යතා අනුව මෙහෙයවීමට නිසි නායකත්වයක් දීමට අපොහොසත් වී ඇත.
9. අණපනත් සහ විවිධ සහායන් ලබා දෙමින් පෞද්ගලික අංශය වර්ධනය කිරීමට පියවර ගන්නා අතර එහි වර්ධනය සාධනීය ලක්ෂණයක් ලෙස පුන පුනා පවසයි.
10. වෘත්තීය ගැටලු හේතුවෙන් වසරක් පාසා සිය ගණනින් විදේශ ගතවන වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු මෙරට උපාධිධාරී වෛද්‍යවරුන්ගේ සාධාරණ ගැටලු සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් කර ඔවුන් රඳවා ගැනීමට උත්සහ දරන්නේ නැත.
මුදල් සහ දේශපාලන බලය මත වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන පුද්ගලයින්, තම පවුලේ සාමාජිකයින්ට හෝ අදාල දේශපාලඥයින්ට හෝ ව්‍යාපාරිකයින්ට පමණක් ප්‍රතිකාර කරන්නේ නම් අපට ගැටලුවක් නැත.එහෙත් සිදුවන්නේ එයද ? මූල්‍ය ගැටලු නැති ඔවුන් සියලු දෙනා කුඩා රෝගයකට පවා විදෙස් ගතවන බැවින්, මෙම පෞද්ගලික උපාධිධාරීන්ගේ ප්‍රතිකාරවලට ලක්වන්නේ සාමාන්‍ය පොදු ජනතාවය, ඔවුන්ගේ දරු පරපුරය. දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමේ විද්‍යාත්මක ක්‍රමයක් පවතිද්දී, රටක් ලෙස අප එතරම් බංකොලොත් විය යුතුද ?
අවසාන වශයෙන් අප පරපුරේත්, අනාගත ලාංකික දරු පරපුරේත් සෞඛ්‍ය ආරක්ෂාව පිණිස සහ මෙරට වෛද්‍ය අධ්‍යාපනය හා වෛද්‍ය වෘත්තිය තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීමට සඳහා ඉදිරිපත් කරන පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට අප සියලු දෙනා එක් වෙමු..
1. මාළඹේ පෞද්ගලික උපාධි ආයතනය වසා දමා, එහි දේපල රජයට පවරාගැනීම.
අත්තනෝමතික ව්‍යාපාරයක් හේතුවෙන් අසාධාරණයට පත්ව සිටින එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට, අදාල ව්‍යාපාරිකයින් ලවා සාධාරණ වන්දියක් ලබා දීම.
2. වෛද්‍ය වෘතිකයින් පුහුණු කිරීමට සහ සේවාවට එක් කිරීම සඳහා මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, සම්මත ක්‍රමවේදය කිසිඳු ආකාරයකින් උල්ලංඝනය නොකිරීම.
3. කොතලාවල වෛද්‍ය පීථය විධිමත් කර, Z අගය අනුව පමණක් බඳවා ගැනීම.
4. කිසිඳු ආකාරයකින් රජයේ වෛද්‍ය පීඨවල ඇගයීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය අඩු නොකිරීම සහ විදෙස් රටවල වෛද්‍ය උපාධිධාරීන් සඳහා පවත්වන ACT 16 විභාගයේ ඇගයීම් මට්ටම මෙරට වෛද්‍ය පීඨවල අවසාන විභාගය දක්වා උසස් කිරීම.
5. උපාධිධාරී වෛද්‍යවරුන් සඳහා දැණුම සහ කුසලතා ඉහළ නැංවීමේ මෙන්ම යාවත්කාලීන කිරීමේ නිසි ක්‍රම වේදයක් සැකසීම හා ඔවුන්ගේ සාධාරණ වෘත්තීය සැටලුවලට විසඳුම් ලබා දීම.
6. පෞද්ගලික සේවාවේ නිරත සුදුසුකම් රහිත, එහෙත් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින සියලු පුද්ගලයින් ඉවත් කිරීම.
7. ( අරමුණක් නැතිව, ඉබාගාතේ නඩත්තු වන රජයේ සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය සේවා වෙළෙඳපොලක් වෙනුවට ) ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ ජාතික සෞඛ්‍ය සේවාවක් පිහිටුවීම සහ එහි පූර්ණ වගකීම රජය විසින් දැරීම.
8. වෛද්‍ය උපාධි සහ පශ්චාත් උපාධි සුදුසුකම් තීරණය කිරීමත්, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අදාල නීතිමය සහ ප්‍රතිපත්තිමය පියවර ගැනීමත්
සඳහා වෛද්‍ය සභාවේ කාර්යභාරය පුලුල් කිරීම.වෛද්‍ය සභාව දේශපාලන බලපෑම්වලින් තොරව ජනතාවට වග කියන ආයතනයක් බවට පත්කිරීම.
- සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය -