Saturday

මාළඹේ හොර වෙද උපාධි කඩයට එරෙහි පාගමන...

ජනතාවගෙන් සගවා කූට ලෙස මුදුන් පමුණුවා තැත් කෙරුණු මාලඹේ වෙද උපාධි කඩයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට කටයුතු කිරීමට එරෙහිව සක්‍රීය ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම,

නිදහස් අධ්‍යාපනය සුරැකීම උදෙසා මෑතක වූ ප්‍රබල මැදිහත් වීමක් බව අපි විශ්වාස කරමු. 

ඉහත කරුණෙහි ලා අප ශිෂ්‍ය ව්‍යාපාරය දැක්වූ සක්‍රීය දායකත්වය පිළිබද මෙසේ සටහන් තබමු. 


පසුගිය සැප්තැම්බර් මස 25 වන දින රජයේ සියලු වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි සිසුන් 1000 කට අධික පිරිසක් අගනුවරට රැස්කරවා ගැනීමට අපට හැකි විය. 


ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා නොදෙන ලෙස දන්වමින් පැවැත්වූ පා ගමන සඳහාය. මේ පාගමන කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ඇරඹී සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අවසන් වන්නේ අප ශිෂ්‍ය නියෝජිතයන් පස් දෙනෙකුට පමණක් සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍යංශ නිලධාරීන් හමුවී යථෝක්ත කරුණ පිලිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සලස්වා ගනිමිනි. 


මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය හමුවන අප නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අනුමැතිය ලබා දුන් බව කියැවෙන අදාල ලිපිය ලේකම්තුමිය වෙත ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරන්නට සමත්වූහ. අප නියෝජිතයන්ගේ කරුණු හා සාක්ෂි හමුවේ ලේකම්තුමිය ද නිරුත්තර වූ බව කිව යුතුය.

එසේ සාකච්ඡාව අවසන් වුවත් මෙම පාගමන ශිෂ්‍ය අරගලය ලත් ජයග්‍රහණයක් බව අප සලකන්නේ කරුණු කිහිපයක් නිසාය.

මෙම පාගමනට පසු දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීම.

• රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා සාකච්ඡා තුල ඉහත මාතෘකාව සඳහා අවධානය යොමු වීම සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ GMOA සභාපතිතුමා සමග කරන ලද සාකච්ඡාව(පෞද්ගලික රූපවාහිනී නාලිකාවක).

• ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුන් විසින් පවත්වන ලද නිහඬ විරෝධතාවය සහ මාලඹේ සිසුන් විසින් ගොනුකර තිබූ මානව අයිතිවාසිකම් නඩුවේ පාර්ශව කරුවන් ලෙස ඉදිරිපත් වීමට රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව ලැබීම.

• ජනතාවගෙන් වසන් කොට යටපත් කරන්නට උත්සහ දරමින් තිබූ ඉහත කී කාලීන ගැටලුව වෙත ජනතා අවධානය යොමු කරවීමට හැකියාව ලැබීම.

අප ශිෂ්‍ය ව්‍යාපාරය මෙතෙක් තම ගමන තුල සාර්ථක වෙමින් සිටියි. ඉදිරි ගමන තුලද අපි සාර්ථක වන්නෙමු. මර්දනය හමුවේ වර්ධනය වන ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මේ වෙනුවෙන් දිගින් දිගටම වෙහෙස වන්නෙමු.

ආණ්ඩුව හැමදා උත්සහ කළේ ද, කරන්නේද, ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුන්කන් දීම නොව, එම ඉල්ලීම් නොසලකා හැරීම හා එම ව්‍යාපාර මර්ධනයට පියවර ගැනීමය. හේතුව උගත් බුද්ධිමත් සිසුන් වන සරසවි සිසුන්ගේ ඉල්ලීම් තේරුම් ගැනීමට තරම් අවබෝධ ශක්තියක් පාලකයන්ට නොතිබීමය.
ඔවුන්ට තේරෙන්නේ මෙම සාධාරණ ඉල්ලීම් දිනාගැනීම උදෙසා හංදියක් හංදියක් ගානේ දින ගණනක් රස්තියාදු වන සිසුන් ඉවත් කිරීමට පොලීසිය ඇවිස්සුණු විටදී ඇති කරගන්නා ගැටීම් ය. එම ගැටීම් මාධ්‍ය වලින් වෙළඳාම් කරන්නට පටන් ගත් විටය. ඒ මැරයන්ට, නූගතුන්ට තේරෙන භාෂාවයි. ඉහළ සිට පහළ දක්වා ලංකාවේ පාලනය ගෙන යන්නේ කවුරුද යන්න මෙයින් පැහැදිලිය.

නමුත් කණගා‍ටුවට කරුණ වන්නේ මාධ්‍ය මෙම පුවත් වාර්ථා කරන අන්දමය. සාමගාමී පාගමන දකින්නේ වාහන තදබදය ඇති කිරීමට අධිරාජ්‍ය බලවේග වලින් සිසුන් හරහා යොදන උපක්‍රමයක් විදිහටය. විපක්ෂ වලින් ආණ්ඩුවේ 'ආශ්චර්යය' කරා යන ගමනට යෙදූ බාධකයක් ලෙසටය. 
ස්වාධීන රූපවාහිනියේ 'මහින්ද අබේසුන්දර ' නමැත්තන් මෙම කතා ගෙතීමේ උපන් හපනුන්ය. ඔවුන්ගේ පැටිකිරිය අපි ඉදිරි ලිපි වලින් ඉදිරිපත් කරන්නෙමු. 

කෙසේ නමුත් අපේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුවට යම් තරමකට හෝ ඇහුන්කන් දීමට ආණ්ඩුවට සිදු විය. 
පේරාදෙණියේ කළමණාකරණ පීඨය ස්ථාපිත කිරීමට පියවර ගැනීම හා මහපොළ රුපියල් 1500කින් වැඩිකිරීම හෝ කළේ ඒ නිසාය. ඒ ඉහත පාගමනත්, ඊට පසුව කෙරුණු පාගමන් වලත් ප්‍රථිඵලයක් ලෙසටය.

නමුත් ආණ්ඩුව මෙහිදී දැනගත යුතු වැදගත් කරුණක් තිබේ. එනම් ජනාධිපතිවරණය උදෙසා අපට පෙන්වීමට උත්සහ කරන 'කැරට්' වලට සිසුන් මුලා නොවන බවය. මන්ද උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබන්නේ දියවන්නාව මොට්ටසෝරියේ සිටින කුඩු වෙළඳුන් ,මැරයන්, සල්ලාලයන් නොව උගත් බුද්ධිමත් සිසුන් පිරිසක් නිසාය. 


ප්‍රශ්ණවලට තාවකාලික පැලැස්තර යෙදීම එදා සිට අද දක්වා රාජපක්ෂ සහෝදර පාලනයේ යහපැවැත්මට හේතුසාධක විය. මන්ද රාජපක්ෂ වටේ සිටින සියලු වන්දිබට්ටයන් හැමදේකටම හෝයියා ගාන නිසාය. නමුත් රාජපක්ෂට ජනාධිපතිවරණය ලංවෙද්දී එක එක ඒවා ටික ටික තේරෙන්නට පටන් ගෙන ඇත. ඒ තේරෙන්නේද මේ විදිහට ගියහොත් තමන් ඡන්දය පරදින බව නිශ්චිතවම දන්නා නිසාය. මොන මොන දහම් ගැට ගැහුවද සත්‍යය සැමදා ජයගන්නවාමය. තමන් කරපු පව් වල විපාක විඳින්නට වෙනවාමය. එය ලෝක ධර්මයයි.


Monday

වෙද උපාධි විකිණීමට තිබේ...

වෙද සිසුවෝ හඬ නගනා කරුණ              ගැන
වප‍රැස යොමා මතුපිට අත ගා                 බලන
ඕනම තරාතිරමක සිටිනා                    නුඹෙන
ඉල්ලා සිටිමු ඇස් ඇර මෙය බලන          මෙන

කුඹුරට බහින අපෙ අප්පච්චිගෙ              සල්ලී
තේ දළු නෙළන නුඹලගෙ මවගේ          සල්ලී
දහඩිය හෙළන හැම ජනතාවගෙ            සල්ලී
අධ්‍යාපනේ නිදහස සපුරන                    සල්ලී

ව්‍යාපාරික ධනපති පන්තියේ                  සල්ලී
රජයේ සේවයෙ නිලධරයගෙ                 සල්ලී
වක්‍රාකාරයෙන් බදු වෙත යන                 සල්ලී
අධ්‍යාපනේ නිදහස ‍රැක දෙන                 සල්ලී

අධ්‍යාපනේ නිදහස ඇති                    ලංකාවේ
සා-පෙළ උසස්-පෙළ අප කාටත්        පොදුවේ
කැප වී ගොඩ නගා ගත් ප්‍රතිඵල           හමුවේ
සාධාරණව කාටත් යන මග                 හමුවේ

භේදය නැතිව දුප්පත් පෝසත්             ලෙසින
කැප වී විරියෙන් නුවණැස               හදාගෙන
අධ්‍යාපනේ පදනම ගොඩ               නගාගෙන
සරසවියට එත හැකිය දක්ෂයෙකු           මෙන

උපතින් නොගෙන ආමුත් මහ ලොකු වත්කම්
පාසල් දවස් වල සිට පෙන්වා              දස්කම්
මව්පිය මුවට ගෙන දී සිනහවෙ           සිත්තම්
වීරිය වඩා ගෙතුවෙමු දැනුමෙහි        ගෙත්තම්

අවුරුදු දෙක තුනක් ලැගලා උසස් පෙළ
මුල්වර නොමැති නම් කරලා දෙතුන් වර
‍රැයක් දවාලක් නොතකා නිදි නොලැබ
විඳි දුක මතක් වෙනවා කාගෙන ක‍ටුව

උසස් පෙළ ලියන්නට බොක්කෙන්   බැහැලා
අවුරුදු දෙක තුනක් කාලය කැප          කරලා
ලංකාවෙම ඉහළම ප්‍රතිඵල                  ලබලා
කැම්පස් ආවෙ අපි බුදු ගේමක්                දීලා

වෙදකම ඉගෙනුමට ගත යුතු           සුදුසුකම
උසස් පෙළින් ගත් ඉහළම              සමත්කම
පාවා මිළට දෙන උන් ඒ                 උගත්කම 
නොදනිති පෙනෙන බව උන්ගේ    පහත්කම

කැප වී ලබා ගත් යුතු සරසවි                 වරම
හෑල්ලුවට අද ලක් වී ඇති                     තරම
මිළ කළ නොහැකි වෙද අධ්‍යාපනයේ  දැනුම
රුපියල් ලක්ෂ සිය ගණනට යන          අරුම

සිදුවන මේ විනාශය ගැන             කියන්නට
වෙද සිසුවෝ සැම දෙනා නගනා          හඬට
ගරහන්නැතිව එන දේ කියමින්           කටට
හිතුවොත් හොඳයි දැන්වත් මේ ගැන හොඳට

ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය- ආණ්ඩුවේ ප්‍රතිපත්තිය
අධ්‍යාපනෙ විකුණන් කන- ආණ්ඩුවේ ප්‍රතිපත්තිය
වෙද සිසුවෝ හඬ නගලා- කියනා විට මේ විත්තිය
ඇස් ඇරලා බලාපියව්- වෙන්නට යන නස්පැත්තිය

නෙවිල් ප්‍රනාන්දුය කියලා- දාල ලොකු වාසගම
මාලඹෙ මඩුවක නටනවා- පී.එම්.සී නාඩගම
නීතිද අනුමත කරගෙන - පෙන්වා මහ සුදන කම
එස් බී දොඩයි වහගෙන- සුදු රෙද්දෙන් නීචකම

එස් බී ඇමතිගෙ සුරතල් බලු              කුක්කා
දැන් ලොකු වෙලා මාලඹෙ සයිටම්    කුක්කා
සල්ලි තියෙන උන් උගෙ කරපිට         දක්කා
වෙද උපාධියත් අද මුදලට                   වික්කා

අධ්‍යාපනේ නිදහස ලබමින්                  ගත්ත
මැති ඇමතිකම් හොබවන උන්         සද්දන්ත
අධ්‍යාපනේ සිඳලති අත්තෙන්                අත්ත
වැදූ අම්මාව විකුණාගෙන කන             හැත්ත

දීලා කඩේකට රුපියල් එකසිය             ලක්ස
වැඳලා දෙකට නැමිලා ඇමතිගෙ           පස්ස
ධනවත් එවුන් වෙදකමකට නැති            දස්ස
මාලඹෙ නමින් දාගති හර නැති              පුස්ස

එපා එපා දෙන්න එපා- ආණ්ඩුවට දෙන්න එපා
වෙද උපාධි විකුණන්නට- ආණ්ඩුවට දෙන්න එපා
බුද්ධිය ඇති ජනතාවනි - මෙය සුළු කොට තකන්නෙපා
පූජනීය වෙද වෘත්තිය- වැනසෙන්නට දෙන්න එපා

රජයේ වෙද විදුහල් වල- බිහි වෙති හොඳ දොස්තර වරු
සේවය සතහට සලසන- ප්‍රමිතියකින් පිරි නිරතුරු
විකිණුවොතින් වෙද උපාධි- මිට මෙලවූ විට මොණරූ
පඳුරකටත් පයින් ගසා- ගත හැකි මරු දොස්තර හොරු

හැමදේටම ආණ්ඩුවට                  කහින්නට
සිසුවන් නම් දණ නොනමති           මහින්දට
වෙද උපාධි විකුණන කඩ               දමන්නට
ඉඩ දෙන්නට බෑ වෙද කම            නසන්නට

විචාර බුද්ධිය කියනා- නාමයකුත් ඔළුවෙ නැතී
සමහර උදවිය හිටගෙන - වලිගය පාගා ගනිතී
'වෙද උපාධි කඩ- ඇති එකනම් මාර ගතී
'එහෙමත් කඩ දාන එකේ- වැ‍රැද්ද කිමදැ'යි අසතී

කියන්ඩ දේවල් නැති කොට - සමහරු වැදි බණ දෙසතී
ඒ වගෙ ගොන් පාට් වලට- නුවණැත්තන්ට හිනාත් යතී
සල්ලි දීල වෙද්දු වෙන්ට - යන උන් ප්‍රතිඵල නොමැතී
ඔච්චර ඉරිසියා මොටද- කියලා අපගෙන් අසතී

විචාර බුද්ධිය තියනා- වෙද සිසුවන් වූ අපි ලඟ
කුහක කමක් නෑ කවදත් - ඉගෙන ගන්න තව කෙනෙකුට
සල්ලි බලෙන් වෙද්දු වෙන්ට  - හොර පාරෙන් එනු වෙනුවට
උසස් පෙළින් ලැබිය යුතුයි - සුදුස්සාට සුදුසුම තැන

උසස් පෙළේ මැරිල මැරිල - ආවෙ අපි කැහිල්ලටද
වෙද උපාධි දෙන්නේ අද - සල්ලි තියෙන වලව්වටද
අර අදින්නේ අධ්‍යාපනේ - විකුණන් කන අඩව්වටද
එහෙනම් මේ උසස් පෙළක්- තියන්නේ මොන ඉලව්වටද

උසස් පෙළේ අභියෝගය - ජයගෙන එන්නට බැරිවද
පී එම් සී රිංගන්නට - ඇමතියො ලඟ පච වෙනවද
ප්‍රමිතියකට සමත් නොවී- වෙද්දු වෙන්ට හැකි වෙනවද
සල්ලි වලට ඔක්කොම ටික -කොරන්නට හැකියැයි හිතුවද

කුඩම්මාට බාර දීල - රජයේ කැම්පස් ටික
රජාගෙ හැන්දෙන් බෙදනවා- පී එම් සී කඩයට
ඉගෙන ගත්ත උන් පාරට - ඇද දාලා ටික ටික
අධ්‍යාපනේ විකුණනවා - වාසි නිසා මඩියට

අමු කැවිච්ච ඌරන් හට - වැළඳුණු පණු රෝගය
වැළඳුණු එස් බී නටනවා - පිට කර ගඳ වාතය
ලස්ස ගණන් මොණරු  ගන්ට - ඇති වී ඇති රාගය
පී එම් සී ඉදි කරවයි - ලැබෙනා ධන යෝගය

හොරෙන් ලියුම් ගහගෙන- පස්ස දොරෙන් පැන ගෙට
බෝලය බස්සාගෙන - ගරු සෞඛ්‍ය ඇමතිට
බැරිකම වහගන්නට - යන්ට අතක් නැති කොට
මාලඹේට දෙන්ට යනවා- රජයේ රෝහල් ටික

ලබා ගන්ට ලංකාවේ - වෙද සභාවේ අනුමැතිකම
සුදුසුකමක් සපුරලා නෑ - පී එම් සී ගුබ්බෑයම
හෑල්ලුවට නොදමා වෙද - උපාධියේ ගරුසරු කම
හකුළගනිව් වහාම දැන් - මේ මහ සක්විති හොරකම

මුවා වෙලා අරුම පුදුම                         ආශ්චර්යට
වෙද උපාධි විකුණනවා අද                       කාසියට
කවුරු මොනවා කිව්වත් තමුන්ගෙ             වාසියට
වෙද සිසුවන් නිහඬ වෙන්නේ නෑ            ලේසියට

හිතුමතේට හොරෙන් ගෙනෙන පනත් හකුළ ගනිව්
මුදල් පදනමට සිසුවන් ගැනුම නවත             ගනිව්
උසස් පෙළේ ප්‍රතිඵල මත සිසුන් බඳව           ගනිව්
මාලඹේ ජනසතු කෙරුමට දැන් පියවර         ගනිව් !!!

Wednesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (4)

7. පෞද්ගලික පාසල් සිසුන්ගේ අනාගතය කුමක්ද?

මෙය සාධාරණ ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ නීතිමය තත්වයන්ට අනුව පෞද්ගලික පාසල් ඉදිකිරීම තහනම්ය. නමුත් දිගින් දිගටම ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය හේතුවෙන් දුරදිග නොබලා අති විශාල ප්‍රමාණයෙන්, හන්දියක් හන්දියක් ගානේ පෞද්ගලික පාසල් ඉදි කරන ලදී. මෙසේ ඉදි කිරීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව කල විමසීම් පවා නොසලකා හරින ලදී.
         වර්ෂය
පෞද්ගලික පාසල් ගණන
  ශිෂ්‍ය සංඛ්‍යාව
1992
66
86782
2000
78
95383
2005
85
105048
මෙහිදී වැටහෙන කරුණක් නම් උසස් අධ්‍යාපනය පුද්ගලිකරණය සාධාරණය කිරීම් සඳහා කාලයක් තිස්සේ මෙම පුද්ගලික පාසල් වලට අතහිත දීම සිදු කරන ලද බවයි. එම නිසා සැබවින්ම රටේ සියලුම ශිෂ්‍යන් ගැන සිතා බලා තීරණ ගන්නේ නම් කල යුත්තේ වහාම එම සියලු පාසල් රජය යටතට පවරා ගෙන එම දරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම මිසෙක, 100 000 ක් පමණ වු දරුවන් පිරිසකගේ අනාගතය වෙනුවෙන් ලක්ෂ 60 ක පමණ දරුවන්ගේ අනාගතය අනතුරේ හෙලීම කිසිසේත්ම අනුමත කල නොහැකිය.


8.ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් වල ඉහලට ගමන් කිරීමට නම් රට තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කල යුතුය.

විශ්වවිද්‍යාල වල ගුණාත්මක භාවය හා තත්වය තීරණය වනුයේ එය අයත් වන්නේ රජයටද නැත්නම් පුද්ගලික අංශයටද යන්න මත නොව, එම ආයතනයට කොතරම් ප්‍රතිපාදන වෙන් වෙනවාද, භෞතික, මානව හා පර්යේෂණ කොතරම් ලබා දෙනවාද වැනි කරුණු මතයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පී අද ශ්‍රේණිගත කිරීම් වලින් පහත මට්ටමක පවතී නම් කල යුත්තේ වහාම ලබා දෙන ප්‍රතිපාදන ඉහල නංවා,භෞතික හා මානව සම්පත වැඩි දියුණු කිරීම මිසක උපාධි විකුණන සිල්ලර කඩ විවෘත කිරීම නොවේ. එමගින් මේ තරම්වත් ගුණාත්මක භාවයක් බලාපොරොත්තු විය නොහැක.

අනෙක් අතට ලෝකයේ හාර්වඩ්, ඔක්ස්ෆර්ඩ්, මොනෑෂ් වැනි විශ්වවිද්‍යාල ප්‍රභල ඒවා වූයේ ඒවා පෞද්ගලික අංශයට අයත් වු ඒවා නිසා නොව ඒවා ප්‍රමාණවත් සම්පත් සහිත බුද්ධියේ කේන්ද්‍රස්ථාන බවට පත් වු නිසාවෙනි. එමෙන්ම මේ එකඳු විශ්වවිද්‍යාලයක්වත් මුළුමනින්ම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ.




9. ලෝකයේ පවතින රැල්ල ‘අධ්‍යාපන පුද්ගලීකරණයයි’

ලෝකයේ එක් එක් රටවල් සංවර්ධනය වූයේ වෙනස් පසුබිම් වල සිටයි. 

මින් යුරෝපය ඇතුළු බටහිර රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර මුල පටන්ම පුද්ගලික අංශ ඔස්සේ දියුණු විය. මුල් කාලයේ මුදල් අය කලද ඉන් දැඩි සමාජ අසාධාරණයක් සිදු නොවිණි. එයට හේතුව වූයේ එම රටවල කම්කරුවන්ගේ පවා වැටුප් තල ඉහල මට්ටම් වල පැවතීමයි. නමුත් වර්තමානයේ ආර්ථික අර්බුද හා ආර්ථිකයේ දරුණු කඩාවැටීම් හමුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදුව, අධ්‍යාපන ගාස්තු ඉහල දැමීම වැනි හේතු නිසා මේ වන විට අධ්‍යාපන පෞද්ගලීකරණය බටහිර ලෝකය පුරාම නැවත ප්‍රශ්න කරවන තත්වයක් උද්ගත වී ඇත.
බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නුතන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව කල පර්යේෂණයක ප්‍රතිඵල British Medical Journal ජාත්‍යන්තර  සඟරාවේ පසුගිය කලාපයක පලවී තිබුණි. එහි ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඔව්හු මෙසේ තම අදහස ඉදිරිපත් කරති.

a.      විවිධ සමාජ පන්ති වලට අනුව වෛද්‍ය විද්‍යාව වෙත ඇතුලත් වෙන ශිෂ්‍ය සංඛ්‍යාවන් අතර විශාල අසමානකමක් දක්නට ලැබුණි. ( There are wide disparities in medical school admission by social classes )

b.     වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට මේ දක්වා දරූ ප්‍රයත්නයන් වලින් ඇති වූ බලපෑම සීමිතය. ( Widening participation initiatives in medicine have so far limited impact )

c.      කම්කරු පවුල් වල සිසු සිසුවියන් වෛද්‍ය විද්‍යාව දුටුවේ තමන්ගෙන් දුරස් වූ යථාර්තවාදී නොවූ හා තමන්ටම ආගන්තුක වූ අධ්‍යාපන ආයතන ලෙසයි. ( School people from working class background see medical school as distant, unreal and culturally alien )

මෙම නිගමන වලින් පෙන්වන යථාර්තය කුමක්ද? වත්මන් අර්බුදයත් සමග තමන් මෙතෙක් ආ මග ප්‍රශ්න කරද්දී, ‘පාඨමාලා ගාස්තු අඩු කරනු’ වැනි සටන් පාඨ සමග ලන්ඩන්, ඇතන්ස්, පැරිස් නගර වල වීදි සරසවි-පාසල් සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පිරී යද්දී එම යථාර්තයට පිටින් ගොස් එම කටුක සත්‍ය වසා දැමීමට අපේ රටේ උසස් අධ්‍යාපන ප්‍රධානීන් යයි කියාගන්නා කැලෑ සිවලුන්ට ඉඩ දීමට හැකිද..?

Tuesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (3)

5) නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාසල්, රාජ්‍ය විශ්ව විද්‍යාල වසා නොදමා පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම නිදහස් අධ්‍යාපනය නැති කිරීමක් නොවේ.

පෞද්ගලික බස් රථ සේවාවන්, පෞද්ගලික රෝහල් ආදිය ඇරඹීමේදී ද ආණ්ඩුව පැවසුයේ ද මෙයම ය. 

එක පසෙකින් රාජ්‍ය අංශය තිබියදී අනෙක් පසින් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන බවත් ජනතාවට එම අංශ දෙකෙන්ම වඩා වැඩි ප්‍රතිඵලයක් භුක්ති විඳිය හැකි බවත් කියවෙති.













නමුත් සිදු වූයේ කුමක්ද? කොමිස්, රාජ්‍ය අනුග්‍රහයේ අසමානතා, රජයේ ප්‍රතිපත්ති, ප්‍රතිපාදන කප්පාදුව හරහා ලංගමය වලපල්ලට යැවූ අතර සැමට එකසේ ප්‍රතිකාර ගැනීමට පවතින රජයේ රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ, විටෙක සේලයින් පවා හිඟ, පැය ගණන් පෝලිම් වල ලැගීමට සිදුවන ආයතන බවට පත්වන ලදී. ඒ අතරම අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ.
 
වසර
1977
1978
1981
1990
1995
2000
2006
2007
2008
2009
2011
ප්‍රතිශතය
6
4.1
2.38
2.97
2.83
2.46
2.67
2.59
2.27
2.8
1.87





1990 දශකයේ අගභාගයේදී තායිලන්තයට රැස්වූ ලෝක නායකයන් (ශ්‍රී ලංකාවද ඇතුළුව) අධ්‍යාපනය සඳහා වන වියදම් සීමා නොකල යුතු බවටත්; එය අවම වශයෙන් රටක දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වත් විය යුතු බවට ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව වර්තමානයේ විවිධ රටවල් කිහිපයක අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

රට
ප්‍රතිශතය
කියුබාව
8.50%
නොර්වේ
6.80%
ඇමරිකා එක්සත් ජනපදය
5.60%
ඉන්දියාව
4.10%
ඉතියෝපියාව
4.80%
ශ්‍රී ලංකාව
1.80%
 
 
 
 
 

 



ලෝකෙන්ම නිදහස් අධ්‍යාපනය පවතින්නේ අප රටෙහි පමණක් යැයි පාරම්බාන ආණ්ඩු අධ්‍යාපනයට සිදු කරන්න යන දේ ඉහත දත්ත වලින් පැහැදිලිය.
 
6) අධ්‍යාපනය නොමිලේ දුන් විට අගයක් නැත. ලබාදෙන සේවයට මුදල් ය කල යුතුය.

ලංකාවේ ශිෂ්‍යන්ට අධ්‍යාපන ලැබෙන්නේ නොමිලේ ද? 
යට මුදල වියදම් කරන්නේ කව්රුන්ද? යන පැනයන්ට පිළිතුරු සොයා බැලීම වටිනා දෙයකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායමින් 90% ක් බදු අදායම් වේ. ඉන් 53% වක්‍ර බදු වේ. (එනම් එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හරහා සාමාන්‍ය ජනයා ගෙවන බදු ය.) අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ මෙම බදු මුදල් වලිනි. එනම් පෙරලා අධ්‍යාපනය මුදල් වැය කරන්නේ රටේ ජනතාවයි. එනම් ශ්‍රී ලංකාවේ පවතින්නේ post paid නොව pre paid අධ්‍යාපන ක්‍රමයකි. දැන් අපි ඉල්ලා සිටිය යුත්තේ ගෙවූ මුදලට සරිලන සේවාවකි.

තවද ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තා වලට අනුව අප රටෙහි අධ්‍යාපනය හා සෞඛ්‍ය යන සේවාවන් නොමිලේ ලබාදෙන සේවාවන් යයි උපකල්පනය කෙරේ. ඒ අනුව රජයේ හෝ කිසිම ක්ෂේත්‍රයක වැටුප් තල සැකසීමේදී අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවට වැටුප් එකතු කිරීමක් සිදු නොකරයි.

අධ්‍යාපනයට මුදල් ගෙවිය යුතු සියලුම රටවල පාහේ මෙයට සරිලන මුදලක් වැටුප් තල වලට එකතු කරයි.

                            ·         5 දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත් වීමට වැය වන අවම මාසික වියදම = රු. 38 848.70
                                                                                    (රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව - 2010 මැයි)


                                                 මින් අධ්‍යාපනය සඳහා ගෙවිය හැකිද?

Sunday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (2)

3) විදේශ උපාධි ලබාගැනීම සඳහා විදේශ ගතවන ශිෂ්‍යයන් සමග වාර්ෂිකව රටට අහිමි වන විශාල මුදලක් අපේ රටෙහි රඳවාගැනීම සහ අදායම් උපයාගැනීම සඳහා PMC ඇති කල යුතුය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේම සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව 300 කට අධික පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගත වේ. ඔවුන් ගණන් බලා ඇති පරිදි එමගින් වාර්ෂිකව පිට රටට ඇදී යන මුදල දළ වශයෙන් රුපියල මිලියන 1600 කි (රුපියල් කෝටි 160 කි).

මෙය උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි අති විශාල මුදලක් නොවේ. 

විදෙස් සංචිත ඉතිරි කර ගැනීමට නම් මෙබඳු හානියක් සිදු නොකර තම නාස්ති වියදම් අඩු කිරීමෙන් හා යහපත් කළමනාකරණය තුලින් ඉතිරි කරගත හැකි බොහෝ අංශ තිබේ.

I. පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සුඛවිහරණය සඳහා වෙන්කළ මුදල රුපියල් කෝටි 160 කි.

II. පසුගියදා සුඛෝපභෝගී හෙලිකොප්ටර් යානා ගෙන්වීම සඳහා රජය වෙන්කළ මුදල රුපියල් කෝටි 1850 කි.
මෙය වසර 12ක් ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.

III. හෙජින් ගිවිසුම නිසා ලංකාවට අහිමි වූ මුදල රුපියල කෝටි 1700 කි.
මෙය වසර 11 ක දී වෛද්‍ය උපාධි මගින් පිට රටට ඇදී යන මුදලට සමාන වේ.

IV. COPE වාර්තාවට අනුව 2006 වර්ෂයේදී පමණක් දුෂණ හා වංචා නිසා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15 000 (රාජ්‍ය අදායමෙන් 1/3 ක්!)

මීට අමතරව පහසුවෙන්, රටට හානියක් නොකර රට තුල නිපදවා ගත හැකි දේවල් වලින් වාර්ෂිකව විදේශයන්ට මුදල ඇදී යාම පහත පරිදි වේ. යහපත් කලමනාකරණයක් තුලින් අවශ්‍ය නම් මෙය වඩාත් හිතකර ලෙස නවත්වා ගත හැක.

• සීනි - රු කෝටි 2000
• කිරිපිටි - රු කෝටි 1900
• ටින් මාළු - රු කෝටි 1500

එබැවින් ආදයම් උපයා ගැනීම සඳහා නූපන් පරපුරක අනාගතය අනතුරේ දමනවා වෙනුවට කල හැකි බොහෝ දේ තිබේ. ඒවාට සාපේක්ෂව අධ්‍යාපනය නිසා ඇදී යන මුදල සොච්ච්ම් මුදලක් බව ඉහත කරුණු වලින් සනාථ වේ.

4)පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර ඇති කරන තරඟය මගින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම.

තරඟ කිරීමට නම් තරග කරුවන් දෙදෙනාම ශක්තිමත්ව සිටිය යුතුය. නමුත් මෙහිදී තරඟ කිරිමට සිදුවන්නේ වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රතිපාදන පවා ක්‍රම ක්‍රමයෙන් කප්පාදු කරන, රාජ්‍ය අනුග්‍රහය දිනෙන් දින ගිලිහෙන දිරාපත් වෙමින් පවතින රජයේ වෛද්‍ය පීඨ හා, මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ලැබෙන, නීතිමය රැකවරණය ලැබෙන, නොමද රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන රජයේ බැංකු වලින් ණය මුදල් පවා ලැබෙන (පසුගියදා ලංකා බැංකුව මගින් රුපියල් මිලියන 600 ක ණය මුදලක් මාලඹේ වෛද්‍ය උපාධි කඩය වෙත පිරිනමනු ලැබීය) පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සමගය. 

මෙහිදී රාජ්‍ය මාධ්‍යය එනම් නිවහල් නමක් තිබුණත් ආණ්ඩුවේ ගැතිකම් කරන ස්වාධීන නාලිකාව, ලංකාව සුරපුරයක් යැයි අහිංසක මහජනතාවට 'බොරු' ප්‍රවෘත්ති සපයන රූපවාහිනී නාලිකාව, හඩ්සන් සමරසිංහ මහතාගේ රාජපක්ෂ ප්‍රේම වෘතාන්තය ප්‍රචාරය කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නමින් තියෙන එෆ් එම් වගේම ඇත්ත සිද්ධි හංගා වැරදි පුවත් ප්‍රචාරය කරන දිනමිණ, දිවයින වැනි මුද්‍රිත මාධ්‍යය මාලඹේ වෙද උපාධි කඩයේ 'නැති' සෞභාග්‍යයක් රටට පෙන්වීමේදී ඉතා වැදගත් කාරය භාර්යක් ඉ‍ටු කරයි.

මෙහි හොඳම කරුණ වන්නේ ඒ කොතරම් පහසුකම් තිබුණද වැදගත්ම අවශ්‍යම දේ මාලඹේ වෙද කඩයට නැති වීමයි. එනම් බුද්ධිමත් සිසුන් පිරිසකි.

එබැවින් මෙවන් පාර්ශව දෙකක් තරග කිරීම හාවා සහ ඉබ්බා දිවීමට සලස්වා ජයග්‍රහකයා තේරීමට බලාපොරොත්තු වන ආකාරයේ ක්‍රියාවකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ රජයේ වෛද්‍ය අධ්‍යාපනය කඩා වැටීම හා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමුඛ වීමයි. ඒ ඔවුනට අවශ්‍යම දේ නොමැතත් ඉහත සඳහන් කළ සියලු අනුග්‍රහක සත්කාරයන් ලැබීමයි

Wednesday

PMC වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක (1)

1)උසස් අධ්‍යාපනයට පවතින සීමිත අවස්ථා හමුවේ ,අවස්ථාව අහිමි වන දක්ෂ සිසුන්ට විශ්ව විද්‍යාල වරම් ලබා දීම. 
උසස් අධ්‍යාපනයට සීමිත අවස්ථා ඇති බව සත්‍යකි.උසස් පෙලින් පසු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත් කල, 

ශ්‍රී ලංකාව -16.4% (2008; අද වන විට සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව අඩු නිසා මෙය මීටත් වඩා අඩු අගයකි)
පෝලන්තය-24.9% 
ඉතාලිය-41.4% 
ප්‍රංශය-51% 

මෙය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධවද ඒ ආකාරයෙන්ම වේ. වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට සුදුසුකම් සපුරන සිසුන් සංඛ්‍යාවෙන් වාර්ෂිකව ඇතුලත් වන්නේ 10% ක් පමණි. නමුත් මෙම ගැටලුවට පිළිතුර ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිපත් කිරීම හුදෙක්ම විහිළුවකි.
ඒ පෞ.වෛ.විද්‍යාල තුල අවස්ථාව හිමි වන්නේ අධික ලෙස මුදල් වියදම් කල හැකි සිසුන්ට පමනක් මිස සීමිත අවස්ථා නිසා සරසවි සිහින බොඳ වන දක්ෂ සිසුන්ට නොවන බැවිනි.


II.දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා සරසවි වරම් අහිමි වන නාගරික දිස්ත්‍රික්ක වල ඉහල ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ට අවස්ථාව ලැබීම.

පෙර කරුණ මෙන්ම මෙයද අර්ධ සත්‍යතාවයෙන් යුතු විහිළුවකි.
දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදුන්වාදීමට පෙර පැවතියේ සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි ඉහලම ලකුණු ලැබූ ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමයි. නමුත් ශ්‍රී ලංකාව වැනි බරපතල විෂමතාවක් ඇති රටක එම අනුපිලිවෙලට ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්ක වල කිසිඳු ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි පාඨමාලා වලට ඇතුලත් නොවීමේ වාතාවරණයක් නිර්මාණය විය. තවද මුලතිව් , කිලිනොච්චි, මොණරාගල, වැනි දිස්ත්‍රික්ක වල දරුවන්ට කොළඹ, මාතර, මහනුවර ශිෂ්‍යයන් සමග තරග කිරීමට නොහැකි වූයේ ඔවුන්ගේ බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නොවන බවත් අධ්‍යාපන පහසුකම් වල,අධ්‍යාපන අවස්ථා වල ඇති ගැටළු නිසා බවත් අප අවධාරණය කල යුතුය.

එබැවින් ගැටළු ඇතත් දැනට පවතින දිස්ත්‍රික් කෝටා ක්‍රමය සාපේක්ෂව සාධාරණ ක්‍රමයකි. මෙය විය යුත්තේ වඩාත් සාධාරණ ක්‍රමයකට මිස, දැනට පවතින ක්‍රමයටත් වඩා අයුක්ති සහගත අත්තනෝමතික ක්‍රමයකට නොවේ.
පෞ.වෛ.විද්‍යාල හරහා අවස්ථාව ලැබෙන්නේ කොළඹ, මාතර වැනි දිස්ත්‍රික්ක වල AAB වැනි ප්‍රතිඵල ලබා වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව අහිමි වන ශිෂ්‍යයන් හටද? ඔවුන්ගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 120ක් නොමැති නම්?????

එබැවින් මෙම ගැටලුවට විසඳුම් සැපයිය හැක්කේ පවතින බරපතල සම්පත් විෂමතාව ඉවත් කිරීමෙන්ම පමණක් වේ. පෞ.වෛ.විද්‍යාල යනු පවතින විෂමතාව තව කීප ගුණයකින් ඉහල දමන්නකි!

                                                     මතු සම්බන්ධයි...

Sunday

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය


1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25 වන වගන්තිය මෙසේයි

"කොමිෂන් සභාව විසින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව හා නියමාවලි මගින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව විශ්ව විද්‍යාලයක විභාග සඳහා අනුමත කරනු ලැබූ අධ්‍යයන පාඨමාලා පැවැත්වීමේ කාලය සඳහා ආයතන පිළිගත හැකිය"

සරළව කිව්වොත් ඇමතිවරයාත් කොමිෂන් සභාවත් කැමතිනම් කැමති ආයතනයකට විශ්ව විද්‍යාල උපාධි ලබා දෙන්න පුළුවනි කියන එකයි සංකීර්ණ කරලා කියලා තියෙන්නේ. මොකද, කොන්දේසි තීරණය කරන්නේත් ඒ පිරිසමයි. මෙන්න මේ නීතිමය පදනමේ ඉඳන් 1981දී නිකුත් කරපු ගැසට් නිවේදනයක් මගින් 'උතුරු කොළඹ' නමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කලා. මේක ලංකා ඉතිහාසයේ පමු පෞද්ගලීකරණ උත්සාහයයි. 

ඒ කෙසේ වුණත් මෙම ආයතනය, ඒ අසාධාරණ පනත පවා උල්ලංඝනය කරපු ආයතනයක්. මෙහි සිසුන් හා කොළඹ වෛද්‍යා පීඨයේ සිසුන්ට පෙනී සිටීමට සිදු වුණේ එකම විභාග වලට. ඒ කියන්නේ සල්ලි දීලා උපාධි ගන්න ගිය අයට ලබා දෙන්න උත්සහ කලේ කොළඹ වෛද්‍ය පීඨ උපාධියමයි (MBBS-Colombo). මේ ආයතනයට ඇතුළත් වුණු අයගේ අධ්‍යාපන සුදුසුකම් ඉතා පහත් මට්ටමක පැවතුනා. උදාහරණයක් විදිහට මෙහි භෞතික විද්‍යාව අසමත් වූවන් වගේම  උසස් පෙළට ගෘහ විද්‍යාව හදාරපු  අය පවා හිටියා. 

රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය අනුව, ඇතුළත් වෙන වසරට පෙර වසරේදී සිසුවා උසස් පෙළ සමත් වී තිබිය යුතුයි. ඒත් ආරම්භක වසරේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ 140 අතරෙන් තොරතුරු හෙළි කළ 97 දෙනාගෙන් 75 දෙනෙක් මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබුණා.

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ සුදුසුකම්.
1.උසස් පෙළ ප්‍රතිඵල - 70%
2.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල - 10%
3.සම්මුඛ පරීක්ෂණය - 10%
4.වෙනත් ක්‍රියාකාරකම් හා 'පවුලේ තත්වය' - 10%
මේ විදිහට කොන්දේසි තිබුණත් ඇත්තටම සිදු වුණේ වරප්‍රසාද තියෙන සල්ලි බලය , දේශපාලන බලය තියෙන පවුල් වල නූගත් දරුවන් බහුතරයකට පමණක් වෛද්‍ය උපාධිය ගන්න වරම් ලැබීමයි. එක් වසරක උසස් පෙළ විභාගයෙන් ලකුණු 279  ගත් සිසුන්ට පවා වෛද්‍යවරයෙකු වීමේ ඉඩකඩ අහිමි වෙද්දී ලකුණු 167ක් ලබාගත් රජයේ ඇමතිවරයෙකුගේ දියණියක් වෛද්‍යවරියක් වීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළත් වීම පවා සිදුවුනා.(එදින පැවතුනේ Z අගයන් මත නොව ලකුණු මත විශ්ව විශ්ව විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමවේදයකි)

මෙය නමට පෞද්ගලික වුණත් ඉගෙනගැනීමට වරම් ලැබුවේ වරප්‍රසාද ලැබූ එක් පන්තියක දරුවන් වුණත් රජය මේ සඳහා රුපියල් කෝටි 200ක් වියදම් කර තිබුණා. ඒ දවස් වල අවුරුද්දකට රජයේ සරසවි සියල්ලටම වැය කලේ රුපියල් කෝටි 30ක් පමණයි. ඒකෙන්ම පේන්නේ තම තමංගේ ධනවාදී, සල්ලිකාර පන්තිය ‍රැක ගන්න රජය කොච්චර මහන්සි වුණාද කියන එකයි.
රාගම වෛද්‍ය පීඨය
ඒ කෙසේ වුණත් දිගු කාලයක් තිස්සේ කෙරුණු අධිෂ්ඨාන සහගත දුෂ්කර අරගලයකින් පස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1988දී ජනසතු කර රජයට පවරා ගත්තා. මේ විදිහට නිදහස් අධ්‍යාපනය ලබාදෙන තවත් වෛද්‍ය පීඨයක් ශ්‍රී ලාංකීය දරුවන් වන අපිට උරුම වුණා. ඒ රාගම වෛද්‍ය පීඨයයි. 
රාගම වෛද්‍ය පීඨ ලාංඡනය

ඒ සිසු සටන් සඳහා නායකත්වය සැපයූ කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, ත්‍රිමා විතාරණ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න ඇතුළු සොයුරන් නමදෙනෙකු හා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 120 දෙනෙකුට මේ අරගලයේදී තම ජීවිත පවා කැප කිරීමට සිදු වුණා. නමුත් නිදහස් අධ්‍යාපනය සු‍රැකුනා.

ඉතිහාසයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමේ උත්සාහයන්
1.1981-උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
2.1981-යාපනය උතුරු ලංකා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 
3.1997-එංගලන්තයේ 'ඇබර්ඩීන්' විශ්ව විද්‍යාලයට අනුබද්ධව නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඉදිකිරීමට උත්සහ කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
4.1999-ඉන්දියාවේ 'රාමචන්ද්‍රන් විශ්ව විද්‍යාලයට අනුබද්ධව පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
5.2002-'ටැන්සානියාවේ විග්නින්'  විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පිළියන්දල පිහි‍ටුවීමට ගිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

6.2003-ඉන්දියාවේ 'විත්යා මිථ්ත්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාවේ OASIS පෞද්ගලික රෝහල සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහි‍ටුවීමට උත්සහ කිරීම
7.2006-'විග්නින්'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහි‍ටුවීමට නැවත උත්සහ කිරීම
8.2009-මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය.

මෙම උත්සාහයන්ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද වෛද්‍ය ශිෂ්‍යයන් ප්‍රමුඛ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල හමුවේ නවත්වන්නට සිදු වුණා. 
පදනමක් නොමැතිව, හරයක් නොමැතිව වර්තමානයේ වැජඹීමට උත්සහ කරන මාළඹේ වෙද උපාධි කඩය නවත්වන දවසත් වැඩි ඈතක නෙවෙයි.

Saturday

ලංකාවේ විශ්ව විද්‍යාල ඇති වීම

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය
අද වෙනකොට ලංකාවේ වෛද්‍ය පීඨ 08ක් ඇතුළුව විශ්ව විද්‍යාල 16 ක් තියෙනවා.
පලමුවන වෛද්‍ය පීඨය ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලය 1870 දී ආරම්භ වුණා. මේ විදිහට ආරම්භ වුණු කොළඹ වෙද විදුහල පසු කාලීනව බිහි වුණු 'ලංකා විශ්ව විද්‍යාලය' ( 1942 ජූනි 01 වැනිදා) සමග සම්බන්ධ වුණා.
මේ විදිහට ලංකාවේ විශ්ව විද්‍යාලය කියන සංකල්පය වර්ධනය වෙද්දී විශ්ව විද්‍යාල කිහිපයක් මුල් කාලීනව බිහි වුණා. 

1942 - කොළඹ විශ්ව විද්‍යාලය
1949 - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
1959 - විද්‍යෝදය විශ්ව විද්‍යාලය
1959 - විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය
1972 - ක‍ටුබැද්ද විශ්ව විද්‍යාලය
1974 - යාපනය විශ්ව විද්‍යාලය

කාලයත් එක්ක මේවා විවිධ වෙනස්කම් වලට ලක් වෙලා වර්තමානයේ තියෙන විශ්ව විද්‍යාල 16 ඇතිවෙලා තියෙනවා.
මුල් කාලීනව විශ්ව විද්‍යාල වල පාඨමාලා  ආරම්භ වුණේ 'ඔක්ස්ෆ'ඩ් , කේම්බ්‍රිජ්' විශ්ව විද්‍යාල වල වගේ සම්පූර්ණයෙන් ම නේවාසික පාඨමාලා විය යුතුයි යන පදනමේ සිටයි. ඒ අනුව 1952 දී පේරාදෙණියේ ගොඩනැගිලි තැනීම අවසන් කරලා 'ලංකා විශ්ව විද්‍යාලය' පේරාදෙණියට ගෙනගියා. වෛද්‍ය පීඨ හා විද්‍යා පීඨ හැර අනෙක් සියලු පීඨ පසු කාලීනව කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ වුණා.

1970 දශකය වෙනතුරු  සියළුම සරසවි සිසුන්ට ආහාර ලබාදීම පවා 'නොමිලේ' සිදු කෙරුණා. සියළුම සිසුන්ට නේවාසිකාගාර ලබාදීම 1980 දශකයේ මුල් භාගය වෙනකං සිදු කෙරුණා. 

ඉන්පසුව සිදු කෙරුණු අක්‍රමවත් ඉදි කිරීම් වගේම උග්‍ර ලෙස ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙන් මෙම පහසුකම් ක්‍රම ක්‍රමයෙන් නොසලකා හැර තිබේ. වර්තමානයේ සරසවි සිසුන් වන අප ට ලැබෙන පහසුකම් අපි සටන් කර දිනාගත් , සිසුන්ගේ කැපකිරීම්  ඔස්සේ ‍රැකගත් සම්පත් ය. එදා මෙන්ම අදත් නිදහස් අධ්‍යාපනය නැති කර අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න සැරසෙන කුහක මිනිසුන්ගෙන් අඩුවක් ඇත්තේ නැත. අපි කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ආශීර්වාදයෙන් ඉගෙනගත්තු අපේ පණ නල තියෙනකන් එසේ කරන්නට ඉඩ නොදෙන බවය...

දැල්වූ නිදහසේ ඉගෙනුමෙ පහන්             සිල
හොල්ලා නිවන්නට සැරසෙන අමන        ‍රැළ
පන්නා දමන්නට සටනට වැදුණු              කල
ඉල්ලන්නේ 'ලේ' ද එහෙනම් ගනිව්      බොල

නිදහස් අධ්‍යාපනයේ උපත

නිදහස් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ මුල ඉඳන් ම ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. 1940 දශකයේ ආරම්භයේ ඉඳන් විවිධ සමාජ ව්‍යාපාර, කණ්ඩායම්, දේශපාලන පක්ෂ සියලු සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබා දිය යුතු යැයි දැවැන්ත උත්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බොහෝ දේශපාලකයන්ට එය පිළිගන්න සිදු වුණා.

"දියුණුවට පත් ඕනෑම රටක එම දියුණුව ලබා ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි" - ජේ. ආර්. ජයවර්ධන,රාජ්‍ය මන්ත්‍රණ සභාව(හැන්සාඩ්  1945/495 තීරුව).

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පිහි‍ටුවන්න අනුපමේය මෙහෙයක් ඉ‍ටුකලා. ඒ බොහෝ දෙනෙකුගේ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් මධ්‍යයේයි. දින 15කදී පැවැත්විය යුතු විවාදය මාස 15කටත් වැඩි කාලයක් පැවැත්වුණේ ඒ නිසයි. 1944 ජූනි 02 දා නිදහස් අධ්‍යාපන පනත විවාදයට ලක් කරමින් කන්නන්ගර මහතා මෙසේ පැවසුවා.

"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ  අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත  ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? " (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

ඒ කෙසේ වුණත් සුවහසක් බාධක හමුවේ එම ආත්ම වර්ණනාව කරන්නට කන්නන්ගර ඇමතිතුමා ඇතුළු බලවේගය වාසනාවන්ත වුණා. ඔවුන් ජයගත්තා. 1947 මැයි 27 කෙ‍ටුම්පත සම්මත වුණා.

මෙහිදී අපි තේරුම් ගන්න ඕන නිදහස් අධ්‍යාපනය අප වෙත ඉතා පහසුවෙන් ලඟා වුණු අහසින් කඩා වැ‍ටුණු දෙයක් නොවන බවත්, විශාල පිරිසකගේ අති විශාල කැපකිරීම් සමූහයක ප්‍රතිඵලයක් විදිහට අපිට මෙය ලැබුණු බවත්ය. "සියලුම සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම" ලෝකයේ අනාගත සිහිනයකි. මේ සිහිනය අපි බොහෝ කලින් දිනාගැනීමට තරම් වාසනාවත්යෝ වුණෙමු. ඔබ අප සියලු දෙනාම අද මෙතරම් දුරට ජීවිතය ජයගන්නට හැකි වුනේ නිදහස් අධ්‍යාපනයට ස්තූතිවන්නටයි...

වෙද සිසු හඬ

නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදයෙන් සරසවියේ සුවඳ විඳින අපේ ජීවිත වල ඇත්ත කතාව ඔබට කියන අපේ අඬහැරය තමයි 'වෙද සිසු හඬ'.
'වෙද සිසු හඬ' හා හා පුරා කියලා පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. 1988 මුද්‍රිත පුවත්පතක් විදිහට මෙය මුලින් ම එළිදැක්වුණා.
ප්‍රසිද්ධ මාධ්‍යය වලින් හංගන තිත්ත ඇත්ත සමාජෙට ගෙනියන ප්‍රබල මාධ්‍යයක් විදිහටත්, සමාජයේ සිදුවන අසාධාරණකම් වලට එරෙහිව නැගීසිටින සවිමත් පවුරක් විදිහටත් එදා 'වෙද සිසු හඬ' කටයුතු කලා.
සරසවි සිසුන්ගේ සිසු සටන් එක්ක නිරතුරුව බැඳී තිබුණු මේ පුවත්පත ඒ සටන් අභිමානවත් ලෙස ජයග්‍රහණය කරා මෙහෙයවන්නත් ප්‍රබල ආයුධයක් වුණා.
කාලයත් එක්ක යට ගියා වූ මේ පුවත්පත මූණු පොතේ පි‍ටුවක් විදිහටත් බ්ලොග් අඩවියක් විදිහටත් අන්තර්ජාලයට එකතු වෙන්නේ කාලීන සමාජීය අවශ්‍යතාවයක ප්‍රතිඵලයක් විදිහටයි.ලංකාවේ ප්‍රධාන මාධ්‍යය වලින් අවහිර කරලා තියෙන 'ඇත්ත' , අවහිරයකින් තොරව සමාජයට ලබා දීමේ මාධ්‍යයක් විදිහට 'වෙද සිසු හඬ' කටයුතු කරනවා. ඒ වගේම සරසවි සිසුවාත් සමාජයත් යන්න දෙකක් නොව එකක් යන දේ පිලිබඳව කතිකාවතක් ගොඩ නගන්නත් 'වෙද සිසු හඬ' බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ සියලු ම විශ්ව විද්‍යාල වලින් 'වෙද සිසු හඬ'ට ලිපි එකතු කරන්නත්, සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ලිපි එකතු කරන්නත් 'වෙද සිසු හඬ' කටයුතු කරනවා.

අපේ ජීවිත වල ඇත්ත කතාවට ඔබත් සවන් දෙන්න... 'වෙද සිසු හඬ'