Saturday

දෙසැම්බර් 31 උත්ඝෝෂණයේ බාරදුන් සංදේශය

උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි,
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි වාතාවරණය පිළිබඳවයි
     මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 5 කට අධික කාලයක් ගතව ඇති අතර ආරම්භයේ සිටම මේ දක්වා මේ සම්බන්ධයෙන් රට තුල විශාල ආන්දෝලනාත්මක කථිකාවකුත් මතුව ඇත. මේ වන විට මෙම ආයතනය රටේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ ප්‍රගමනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන තත්වයකට පත්ව ඇත. ආරම්භයේ පටන්ම ඉතාමත් වංචනික ආකාරයෙන් ජනතාව රවටමින් පවත්වාගෙන යන මෙම ආයතනය තුල විශාල අක්‍රමිකතාවයන් ප්‍රමාණයක් සිදුවන අතර ඒ පිලිබඳව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි දිගින් දිගටම හෙළිදරවු කළෙමු.
     අධ්‍යාපනය මුදලට විකිණීම තම මුඛ්‍ය පරමාර්ථය කරගත් මෙවැනි ආයතන තුල අධ්‍යාපන කටයුතු අවශ්‍ය ප්‍රමිතීන්ගෙන් තොර වුවද කුමන හෝ අයුරින් වෛද්‍ය උපාධියක් ලබා දෙන බව පවසමින් පසුගිය කාලය පුරාවටම විශාල සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා ලදී. මේ අතර රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට ඇති අවම සුදුසුකම වන S සාමාර්ථ තුනකටත් අඩු, එනම් උසස් පෙළ අසමත් සිසුන්ද මෙහි සිටින බව නොරහසකි. ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2012 දී නිකුත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාවේ සඳහන් වෙයි. මෙසේ ජනතාව මුලා කරමින් පවත්වා ගෙන යනු ලබන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව එම ආයතනයට ඇතුලත් වූ සිසුන් විසින් ගොනු කල නඩු 5 ක් මේ වන විටත් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතී. වංචාකාරී ලෙස පවත්වාගෙන යනු ලබන මෙවන් ආයතන හේතුවෙන් රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය බරපතල අවධානමකට පත්ව ඇත.
     ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් ශක්තිමත්ව පැවතීම ප්‍රබල අත්වැලක් සපයන බව සත්‍යකි. එබැවින් රටේ පුරවැසියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ අයිතිය සුරක්ෂිතව පැවතිය යුතුය. නමුත් අධ්‍යාපනය මුදලට විකිණීම යන පදනම මත ආරම්භ වී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි ආයතන හරහා රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතියද ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලැබීමට ඇති අයිතියද උල්ලංඝනය වන අතර ඒ තුලින් රට සැබෑ සංවර්ධනය කරා යන ගමනද අඩාල වේ.
     එබැවින් රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසත් රටේ ජනතාවගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කරමින් අධ්‍යාපනය මුදලට විකිණීමේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් අපි මෙයින් බල කර සිටිමු. 

“වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව”


මෙලෙස ඇරඹුනේ රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ තීරණාත්මක නව වසරකි. ජයග්‍රහණයෙන් තොරව නතර වී නොමැති සිසු සටන් වල තවත් එක් ජයග්‍රහණයක් ලබන වසරකි. 
 

No comments:

Post a Comment